Sunday, April 20, 2025
Home » නිවාඩු නිකේතනවල ඇමැතිවරුන්ට වෙන් කළ සැප කාමර නෑ

නිවාඩු නිකේතනවල ඇමැතිවරුන්ට වෙන් කළ සැප කාමර නෑ

by sachintha
October 23, 2024 12:17 am 0 comment

රජයේ විවිධ අමාත්‍යාංශ පවත්වාගෙන යන නිවාඩු නිකේතනයන්හි ඇමැතිවරයාට කාමරයක් වෙන් කිරීම හා ඇමැතිගේ අභිමතය පරිදි හිතවතුන්ට අඩු මිලට කාමර ලබාදීමේ ක්‍රමවේද වෙනස් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ඇමැති මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් මහතා පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (22) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. ඒ අනුව අමාත්‍යාංශ සේවකයන්ට විශේෂ ක්‍රමවේදයක් යටතේ සහ ඕනෑම ලාංකිකයකුට එම නිවාඩු නිකේතන ලබාගත හැකි නව ක්‍රමවේදයක් සකස් කරන බව හෙතෙම කීවේය.

රජයේ ආයතන සතු නිවාඩු නිකේතන හා සංචාරක බංගලා උපරිම ඵලදායී අයුරින් ප්‍රයෝජනයට ගැනීම සඳහා යෝග්‍ය ක්‍රමවේදයක් නිර්දේශ කිරීමට පත් කරන ලද කමිටුවේ නිර්දේශ මත නවීකරණය කළ යුතු සංචාරක බංගලා 09ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් හඳුනාගනු ලැබ ඇති බව ඒ මහතා කියා සිටියේය. ඒ සඳහා රුපියල් මිලියන 166.93ක ඇස්තමේන්තුගත ප්‍රතිපාදන ලැබී ඇති අතර, එම ව්‍යාපෘති මෙම වසර තුළදීම නිම කළ යුතුව ඇති අතර ඒ අනුව, එක්ගල්ඔය සහ රිවස්ටන් සංචාරක බංගලා නවීකරණ කටයුතු ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ අධීක්ෂණය යටතේ මධ්‍යම ඉංජිනේරු සේවා පෞද්ගලික සමාගම මඟින් ඉටු කරවා ගැනීමට පරිසර, වනජීවී, වන සම්පත්, ජලසම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමැති විජිත හේරත් මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව ඇමැතිවරයා කියා සිටියේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.

දැනට රජයේ විවිධ අමාත්‍යාංශ මඟින් පවත්වාගෙන යන නිවාඩු නිකේතන ගණනාවක් තිබෙනවා. ඒ නිවාඩු නිකේතනවල සමහර ඒවයි ඇමැතිට කාමරයක් වෙන් කරලා තිබෙනවා. ඇමැතිගේ අභිමතය පරිදි නිවාඩු නිකේතන හිතුවතුන්ට ලබා දෙනවා. මිල මට්ටම් අඩු කරනවා. ඇමැතිගේ නියෝගය මත සහන මිලට දෙනවා. මේ ක්‍රමවේදය වෙනස් කළ යුතුයි. ඒ ගැන කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළා. ඒ අනුව ඕනෑම ශ්‍රී ලාංකිකයකුට, අමාත්‍යාංශ නිලධාරීන්ට තමන්ගේ නිවාඩු කාලය ගත කරන්න අවශ්‍යතාව මත නිවාඩු නිකේතන ලබා දෙන්නත් මෙතෙක් කල් පැවැති ඇමැතිට කාමර වෙන් කිරීමේ යන ක්‍රමවේදය වෙනස් කරලා නව ක්‍රමවේදයකට මේවා විශේෂ කරලා සේවකයන්ටත් අනෙකුත් ජනතාවටත් ලබාදෙන ක්‍රමවේදයක් සකස් කරන්නත් කැබිනට් මණ්ඩලය තීරණය කළා.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT