සපුෂ්ප ශාක විශේෂ 384ක් හා ශාක විශේෂ 164ක් සහිත, සත්ත්ව විශේෂ 220ක් ජීවත්වන කුරුවිට වර්ණගලවත්ත පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක් ලෙස නම් කෙරේ.
සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩවිකන්ද ග්‍රාම නිලධාරී වසමේ හා කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාගල ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ප්‍රමාණයෙන් හෙක්ටයාර් 502.69 වන වර්ණගලවත්ත පරිසර කලාපය ස්වභාවික දිය ඇළි වන ජීවී නොඉඳුල් ස්භාවික වනාන්තර කොටසක් වන අතර, මෙම ප්‍රදේශය සංරක්ෂණය උදෙසා, 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ විධිවිධාන යටතේ වර්ණගලවත්ත පාරිසරික ආරක්ෂක ප්‍රදේශය ලෙස අංක 2387/22 හා 2024.06.05 දින දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර ඇත.
උතුරින් රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක වෙන් කෙරෙන දිස්ත්‍රික් මායිමෙන්ද, නැඟෙනහිරින් හා දකුණින් රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මායිමෙන්ද සමනල ස්වභාවික වනජීවී රක්ෂිතයට මායිම් වන මෙම ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට මීටර් 450 – 1350ත් අතර උසකින් පිහිටා ඇත. හෙක්ටයාර් 500ක් පමණ වන මෙම වර්ණගල ප්‍රදේශය ආශ්‍රිතව සිදු කර ඇති අධ්‍යනයන්ට අනුව මෙම කලාපය ජෛව විවධත්වය අතින් ඉතා පොහොසත් කලාපයක් වශයෙන් හඳුනාගෙන ඇති අතර වර්ණගල ප්‍රදේශයට පමණක් ආවේණික ශාක විශේෂ හා සත්ත්ව විශේෂ දක්නට ලැබේ.
2020 වර්ෂයේදී තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය මෙම කලාපය ආශ්‍රිතව ජෛව විවිධත්ත්ව අධ්‍යනයක් සිදු කරන ලද අතර එම අධ්‍යන වාර්තාව මඟින් සුවිශේෂී කරුණු රැසක් පෙන්වා දී ඇත. එහිදී සපුෂ්ප ශාක විශේෂ 384ක් වාර්තා වී ඇති අතර, එහි සත්ත්ව විශේෂ 220ක් හා ශාක විශේෂ 164ක් ඇතුළත්ව තිබේ. මෙම අගනා වන පෙත නෛතිකව සංරක්ෂිත හෝ රක්ෂිත ප්‍රදේශයක් ලෙසට නම් කර නොතිබීම හමුවේ ක්‍රමිකව විවිධ වූ තර්ජනයන්ට නතු වෙමින් පවතී.
ඒ අනුව එම පාරිසරික ආරක්ෂක ප්‍රදේශය හඳුන්වා දී රාජ්‍ය ආයතන හා අදාළ අනෙකුත් ආයතනවල නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා වූ වැඩසටහනක් පසුගියදා (18) රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ, රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් ගයානි අයි. කරුණාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම වැඩසටහනට මධ්‍යම පරිසර අධිකාරිය සංවිධානය කර තිබූ අතර, මෙම අවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එන්.එස්. ගමගේ, සබරගමුව පළාත් සංචාරක අමාත්‍යංශ ලේකම් සංජීව ගොඩැල්ලවත්ත, සබරගමුව පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් දිලිනි ධර්මදාස, පරිසර සභාවේ සභාපති ආචාර්ය ජගත් ගුණවර්ධන, කුරුවිට ප්‍රාදේශීය ලේකම් භාග්‍ය බටුගෙදර, දැරණියගල සහකාර ප්‍රාදේශීය ලේකම් කේ. රමේෂ් රාජා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
කේ.ඒ. සුනිල් කුරුවිට