දක්ෂිණ අධිවේගී මාර්ගයට තම ගම් බිම් කැප කළ වලල්ලාවිට, ඉත්තෑපාන ජනතාව ගමෙන් නගරයට එන්නට පාර හදා දෙන්නැයි කොතෙකුත් ඉල්ලීම් කළත් පාලකයන් ඒවා නැසුනා සේ සිටින බව වලල්ලාවිට හා ඉත්තෑපාන ප්‍රදේශවාසී ජනතාව පවසති.
වලල්ලාවිට, ඉත්තෑපාන, හල්වල මල්ලියවත්ත මාර්ගය දශක ගණනාවකින් සංවර්ධනය නොකිරීමෙන් මේ වන විට ගමනාගමනයටය නොහැකි තත්ත්වයට පත්ව ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත්ව සිටිති. ඔවුන් චෝදනා කරන්නේ, සංවර්ධන කටයුතු අතරමඟ නතර කර දමා කොන්ත්‍රාත්කරු පලා ගොස් වසර තුනක් ගතව ඇති බවයි. වලල්ලාවිට ප්‍රාදේශීය සභාව සතු මෙම මාර්ගය දිගින් කිලෝමීටර් දෙකහමාරකි. වසර ගණනාවකින් කිසිදු ප්‍රතිසංස්කරණයක් නොකිරීම හේතුවෙන් පසුගිය යහපාලන රජය සමයේ රුපියල් කෝටි 14ක් ඇස්තමේන්තු කර මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කළ බව මල්ලියවත්ත ජනතාව කියති. විශාල ප්‍රචාරක පුවරු සවි කර මැති ඇමැතිවරුන් පැමිණ රටටම අණ බෙර ගසා වැඩ ආරම්භ කර හල්වල පිවිසුමෙන් මීටර් දෙසීයක පමණ ප්‍රමාණයක් කපට් අතුරා කොන්ත්‍රාත්කරු හොර රහසේම පලා ගියේ ව්‍යාපෘතියට ඇස්තමේන්තු කෝටි 14ක මුළු මුදලෙන් සියයට 20ක ප්‍රමාණයක් ද අත යට ලබා ගැනීමෙන් බව හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනත් අධිකාරම් මහතා කීය.
වලල්ලාවිට, ඉත්තෑපාන, මතුගම, අලුත්ගම ඇතුළු ප්‍රධාන නගර කිහිපයක් සම්බන්ධ කෙරෙන හල්වල මාර්ගයේ දිනපතා රථවාහන හත් අට දහසකට වඩා ධාවනය වන අතර, අලුත්ගම ඩිපෝවෙන් ධාවනය වන එකම ලංගම බස් රථය ගම්මාන රැසක සිය ගණනක් වූ මගී ජනතාවගේ පොදු ප්‍රවාහන සේවයයි. මල්ලිවත්ත, හල්වල, කුකුලේගොඩ, බොකරෑවල, පන්නිල, පරේගම, මාලවත්ත සහ අවිත්තාව ඇතුළු ගම්මානවල ජනතාවට නගරයට යෑමට ඇත්තේ මල්ලිවත්ත – හල්වල මාර්ගය පමණි. වසරේ අවස්ථා කිහිපයකදීම ඇති වන ගංවතුර ආපදාවෙන් ලෙව්වන්දූව, ඉත්තෑපාන මාර්ගය ගංවතුරින් යට වූ විට ගමනාගමනයට ඇති එකම විකල්ප මාර්ගය ද හල්වල මාර්ගයයි. මේ හේතුවෙන් මෙම මාර්ගය කඩිනමින් පිළිසකර කර දෙන ලෙස ප්‍රදේශවාසීහු වැඩිදුරටත් ඉල්ලා සිටිති.
මීගතැන්න සමූහ