එකම දියණියගේ සහ බිරියගේ ගෙල කපා ඝාතනය කර නිවෙස තුළම ගිනි තබා ව්‍යාපාරිකයා ද ගිනි තබාගෙන දිවි නසා ගනී
තම එකම දියණියගේ සහ බිරියගේ ගෙල කපා දමා ඉන් පසු නිවෙස තුළදීම ඔවුන්ගේ සිරුරුවලට ගිනි තබා විනාශ කර, ඉන්පසු කෝටිපති ව්‍යාපාරිකයා ද ඉන්ධන වර්ගයක් සිරුරට දමා ගෙන ගිනි තබාගෙන දිවි නසා ගෙන ඇති බව හලාවත සිංහපුරවත්ත ප්‍රදේශයේ සුවිසල් නිවෙසක සිදු වූ ඝාතන සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණවලදී හෙළි වූ බව හලාවත මූලස්ථාන පොලිසිය ඊයේ (21) පැවැසීය.
හලාවත කම්පා කරමින් සුවිසල් දෙමහල් නිවෙසක් තුළදී සිදුව තිබූ අබිරහස් මරණ සම්බන්ධයෙන් හලාවත මහ රෝහලේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී හලාවත මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වයි.එම්.ජී. ඉලංගරත්න බංඩා මහතා අදාළ ඝාතන සම්බන්ධව විශේෂඥ අධිකරණ කටයුතු මෙහෙයවා තිබූ අතර එහිදී නිගමනය කර ඇත්තේ 15 හැවිරිදි දියණිය හා ඇගේ මවගේ ගෙල තියුණු ආයුධයකින් වෙන්වන ලෙසට කපා දමා ඇති බවත් ඉන්පසු අධික රුධිර වහනයවීමෙන් මරණයට පත්ව ඇති බවය.
එසේ දියණිය හා බිරිය නිවෙස තුළදී මරා දැමූ කෝටිපති ව්‍යාපාරිකයා බිරියගේ සිරුරට නිදන කාමරය තුළ දී ගිනි තබා ඇති බවත් ඉන් පසුව සුවිසල් නිවෙසේ සාලයේ අවුලා තිබූ විශාල ගින්නට දියණිය පිළිස්සීමට දමා මෙම ව්‍යාපාරිකයා ද කිසියම් ඉන්ධන වර්ගයක් සිරුරට වක්කර ගනිමින් මරණයට පත්ව තිබූ බව පශ්චාත් මරණ පරීක්ෂණවලදී වැඩිදුරටත් නිගමනය කර තිබුණි.
හලාවත කම්පා කරමින් සිදුව තිබූ මෙම මරණ සම්බන්ධව පැවැති පශ්චාත් මරණ පරීක්ෂණවලදී වැඩිදුරටත් හෙළිව ඇත්තේ දියණියගේ සිරුර පුරා දරුණු තුවාල සිදුව තිබූ බවය.
ඒ සමඟම මෙම ඝාතන සිදු කළ බව කියන කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුරේ කිසිදු තුවාල සලකුණක් නොතිබූ බව වැඩිදුරටත් පශ්චාත් මරණ පරීක්ෂණවලදී හෙළිව තිබුණි.
මෙලෙස අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇත්තේ හලාවත සිංහවත්ත ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි මුහන්දිරම් රාළලාගේ මංජුලා නිරෝෂණී බණ්ඩාර නමැති එක්දරු මවක් හා 15 හැවිරිදි නෙත්මි නිමේෂා සේනාරත්න නමැති දියණියයි.
තම සැමියා අතින් මෙලෙස ඝාතනයට ලක්වූ බිරිය හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක් ලෙස සේවය කරමින් සිට ඇති අතර 15 හැවිරිදි දියණිය හලාවත ආනන්ද ජාතික පාසලේ 10 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටි බව කියයි.
තම පියා හා මව අතර ඇතිවූ මුදල් හා වෙනත් ආරවුලක් හේතුවෙන් මෙම මරණ සියල්ලම සිදුව ඇති බව මේ වන විට පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී හෙළිව ඇති බව කියයි.
ඝාතන සිදුකර ඇති බව කියන කෝටිපති ව්‍යාපාරිකයා වන 51 හැවිරිදි එස්.ජී. සේනාරත්න යන අය නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත්, වසර 20 කට පෙර කුරුණෑගල ප්‍රධාන පෙළේ ඉඩම් කොටස් කර අලෙවි කිරීමේ සමාගමක කළමනාකරුවකු ලෙස හලාවත ප්‍රදේශයේ එම සමාගමේ ශාඛාව භාරව සිට ඇත.
එලෙස හලාවතට පැමිණි මොහු ඝාතනයට ලක්වූ කාන්තාව සමඟ විවාහ ගිවිස ගෙන ඇති බවත් ඉන්පසු ඔවුන්ට එක් දියණියක් ලැබී ඇති බව කියයි.
සමාජයේ කා අතරත් හිත හොඳ දිනා ගනිමින් ඔහු ද ඉඩම් කොටස් කර අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් තිබී ඇති බව කියයි.
පර්ල් ලෑන්ඩ් නමින් පවත්වාගෙන ගිය මෙම ව්‍යාපාරය කිසියම් මුදල් ගැටලු රැසකට මුල් වී අඩාළවී තිබූ බවත්, එහිදී මෙම ව්‍යාපාරිකයා තම බිරිය සතු මුදල් ලබාගෙන ඒවා ද තම ව්‍යාපාරයකට යොදවා එයින් ද පාඩු ලැබීමත් සමඟ නිතර නිතර මේ සම්බන්ධව ආරවුල් නිවෙස තුළ තිබී ඇති මුත් මෙම කිසිදු කරුණක් එළියට නොදී සිටීමට ඝාතනයට ලක්වූ කාන්තාව කටයුතු කර තිබුණි.
ඒ නිසාම මෙම තිදෙනා ඉතාම යහපත් පවුල් ජීවිතයක් ගෙවන පවුලක් බවට හිතවතුන්ට පෙන්වීමට මහත් වෙහෙසක් ගෙන තිබූ බවට තොරතුරු හෙළිව තිබේ.
කෙසේ නමුත් අඹු සැමියන් අතර මුදල් ආරවුලට අමතරව වෙනත් ආරවුලක් තිබුණා ද යන්න මේ වන විටත් පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම්වලට සනාථ කර ගැනීමට නොහැකි වී ඇති බව කියයි.
හලාවත නගරයේ පිහිටි මෙම සුවිසල් නිවෙස හා අනිකුත් දේපොළ බිරියගේ පාර්ශ්වයෙන් ලැබී තිබීම හේතුවෙන් බිරිය සැමියා සමඟ තමමුදල් විනාශ කළ බවට චෝදනා එල්ල කරමින් ගැටුම් ඇති කර ගෙන ඇති බවට පොලිසිය සැක කරති.
පසුගිය මාසයේ මෙම නිවසේ තිබූ රුපියල් ලක්ෂ 20 කට අධික වටිනාකමකින් යුත් රත්රන් තොගයක් සොරකම් කිරීම ගැන ද බිරිය සැමියා සැක කර ඇති බවට පොලිසිය සැක කරති.
එසේ බිරිය සැක කිරීමට හේතුවවී ඇත්තේ පිටස්තර කිසිවකු නිවෙසට ඇතුළු වී නොමැති වටපිටාවක නිවෙසේ තිබූ බිරිය සතු රත්රන් තොගය මෙලෙස සොරා ගැනීම සැමියා විසින්ම කළ බවට චෝදනා එල්ල කිරීම බවට පොලිසිය පරීක්ෂණවලදී අනාවරණය කර ගෙන තිබේ.
කෙසේ වෙතත් මෙම මුදල් ආරවුල දරුණු තත්ත්වයට පත්වීමෙන් පසු 20 වැනි දින තම දියණිය උපකාරක පන්තියකට යෑමෙන් පසු දෙදෙනා අතර ගැටුමක් ඇතිව ඇති බවට පොලිසිය සැක කරයි.
ඒ සමඟම තම බිරියව නිවෙස තුළදී ගෙල කපා මරා දමා දමන්නට ඇති බවත් උපකාරක පන්ති ගොස් යහළුවන් සමඟ නිවෙසට පැමිණි දියණිය තම මව පිළිබඳව විමසා ඇති බවත් එහිදී අසනීපයක් සඳහා ප්‍රතිකාර ගැනීමට හලාවත රෝහලට ගොස් ඇති බවට පවසා ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිව තිබේ.
කෙසේ නමුත් බිරිය මරා දැමීමෙන් පසු මෙම කෝටිපති ව්‍යාපාරිකයා තම දියණිය ද නින්දට යෑමෙන් පසු තියුණු ආයුධයකින් ගෙලට පහර දී මරා දමා ඇති බවට පොලිසිය සැක කරයි.
ඒ වනවිටත් ඝාතනයට ලක්ව සිටි බිරියගේ සිරුරට ගිනි තබා පුලුස්සා නිවෙස පිහිටි භූමියේ තිබූ පොල්ලෙලි දර හා අනිකුත් දෑ සාලයට රැගෙනවිත් එහි දැවැන්ත ගිනි ගොඩක් සකසා ඝාතනයට ලක්ව සිටි දියණියගේ නිසල සිරුර ගිනි ගොඩට දමා පිලිස්සීමට ඉඩ හැර ඉන් අනතුරුව ඔහු ද ගින්නට පැන දිවි නසා ගන්නට ඇති බවට මේ වනවිට සිදු කළ පොලිස් විමර්ශනවලදී හෙළිව තිබේ.
කෙසේ නමුත් ඥාතීන්ට හිතවතුන්ට හා අසල්වාසීන්ට අබිරහසක් ඉතුරු කරමින් සිදුවූ ඝාතන හා සැමියාගේ සිය දිවි නසා ගැනීම බරපතළ ගැටලු රැසකට තුඩුදී තිබේ.
මවගේ හා පියාගේ ගැටුමකට මැදිවූ කිසිවක් නොදත් මල් කැකුළක් මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ මවුපියන්ගේ හිතුවක්කාර ගතිවලට වන්දි ගෙවමිනි.
පුත්තලම අතිරේක හිරාන් ප්‍රියංකර ජයසිංහ