Monday, April 21, 2025
Home » දුම්රිය ධාවනයේදී මගී ආරක්ෂාව ගැන වගකීම ගන්න බෑ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය
නවීකරණය වන උතුරු මාර්ගයේ ඉඳිකිරීම් තවදුරටත්:

දුම්රිය ධාවනයේදී මගී ආරක්ෂාව ගැන වගකීම ගන්න බෑ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය

by sachintha
October 22, 2024 1:48 am 0 comment

නවීකරණය වෙමින් පවතින උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට එක් කිරීමේදී ඒවා නිසි පරිදි භාර නොදෙන්නේ නම්, දුම්රිය මගීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම් භාර ගැනීම ප්‍රතික්ෂේප කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

අදාළ දුම්රිය මාර්ගයේ නවීන සංඥා පද්ධති ඉදි කිරීමට යෝජනා වී තිබුණද එම ව්‍යාපෘතියට සංඥා පද්ධති ඇතුළත් කර නොතිබීම සහ නවීන සංඥා පද්ධති සවි කිරීමට මුදල් නැතිකම හේතුවෙන් මේ වන විට තාවකාලිකව ආන්ත්‍රාදායක සංඥා පද්ධතියක් සහ අනාරක්ෂිත දුම්රිය වේදිකා සවි කර ඇති බවත් කියමින් මගී ජීවිත ආරක්ෂා කිරීමේ වගකීම භාර ගත නොහැකි බව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවැසීය.

මේ වන විටත් එම මාර්ගයේ සහ දුම්රිය වේදිකා ඉදි කිරීම් කටයුතු සිදු කෙරෙන බව කී ඒ මහතා, ඇතැම් දුම්රිය ස්ථානවල වේදිකාවට නැඟීම සඳහා අත්වැටවල් සවි කර නැති බවත් ඇතැම් වේදිකා සහ අත්වැටවල් නැති වීමෙන් දුම්රිය මගීන් විශාල හෙළවල්වලට පෙරළීමේ අවදානමක් ඇති බවත් කියා සිටියේය.

කොටුව අනුරාධපුරය දක්වා පරීක්ෂක දුම්රියක් පසුගියදා (19) ධාවනයට එක් කිරීමෙන් අනතුරුව අනුරාධපුර දුම්රිය ස්ථානයට පැමිණ සිටි ඒ මහතා දිනමිණට අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.

එහිදී ඒ මහතා මෙසේද අදහස් දැක්වීය.

අපි කටයුතු කරන්නේ දහස් ගණනක් මගී ජීවත සමඟ. සංඥා පද්ධතිය තාවකාලිකව සවි කිරීම නිසා ගැටලු රැසක් මතු වෙලා. මේ තත්ත්වය හරිම අනාරක්ෂිතයි. දුම්රියට සංඥා දෙන්න දුම්රිය ස්ථානාධිපතිවරුන්ට වගකීම පැවරී තිබුණාට සංඥා පද්ධතිය සම්බන්ධ වගකීම ගන්න බැහැ. වෙනදා මේවා තිබෙන්නේ ආරක්ෂිතව. දැන් ඒ තත්ත්වය නැහැ. ඇතැම් දුම්රිය වේදිකාවල අත්වැටවල් නැහැ. විශාල හෙළක් පසුපසින් තිබෙන්නේ. දුම්රිය වේදිකාවල යකඩ බාර් යටින් යන්න බැහැ. මගීන්ගේ ඔළුවේ වැදෙන ගානට තිබෙන්නේ. දුම්රිය සංඥා පද්ධතිය සවි කර භාර දුන් පසු දුම්රිය ධාවනයට සූදානම්. මහව, අඹන්පොළ, සෙනෙරත්ගම, ගල්ගමුව, තඹුත්තේගම, තලාව, ශ්‍රාවස්තිපුර, අනුරාධපුර යන දුම්රිය ස්ථානවල වගකීම් භාර ගැනීම සිදු කරන්නේ ආරක්ෂිතව මේවා සකස් කළ පසුවයි. මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් මුළුමනින්ම ගලවා ඉවත් කර තිබෙනවා. ඒ වෙනුවට ටෝකනයක් ලබාදෙන ආන්ත්‍රාදායක හා අකාර්යක්ෂම සංඥා පද්ධතියක් සවි කිරීමට උත්සාහ කරනවා. මෙය මගී ජීවිත මෙන්ම දුම්රිය සේවකයන්ගේද ජීවිත අනතුරේ හෙළන අනුරාධපුර සිට ඕමන්ත දක්වා කොටසේ ඉදිකිරීම් සාර්ථකව නිම කර ඇතත් මහව සිට අනුරාධපුර දක්වා කොටසේ සංඥා පද්ධතිය ගැන මෙතෙක් නිසි පියවරක් ගෙන නොමැති බවද ඔහු කියා සිටී.

ඡායාරූප – සුලෝචන ගමගේ

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT