Home » බංග්ලාදේශයේ ඉස්ලාම් අන්තවාදීන් අග්නිදිග ආසියාවටම තර්ජනයක් ඉන්දුනීසියාවෙන් වාර්තාවක්

බංග්ලාදේශයේ ඉස්ලාම් අන්තවාදීන් අග්නිදිග ආසියාවටම තර්ජනයක් ඉන්දුනීසියාවෙන් වාර්තාවක්

by sachintha
October 22, 2024 1:50 am 0 comment

බංග්ලාදේශයේ හිටපු අගමැති ශෙයික් හසීනා ඇතුළු අවාමි ලීග් රජයේ පාලනය බිඳ වැටීමත්, රට අරාජිකත්වයට ඇද වැටී තිබූ කාලයේ එරට සුලුතර ප්‍රජාව ඉලක්ක කරමින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීමත් පසුපස සිටි බව කියන බංග්ලාදේශයේ ඉස්ලාම් අන්තවාදීන් ලෙස හඳුන්වනු ලබන ජමාටි ඉස්ලාමි සංවිධානය අග්නිදිග ආසියාවේ ත්‍රස්තවාදය ව්‍යාප්ත කිරීමේ අවදානමක් මතු වී ඇති බව ඉන්දුනීසියාවේ ජකර්තා නුවර කේන්ද්‍ර කරගත් ගැටුම් සම්බන්ධ ප්‍රතිපත්ති විශ්ලේෂණ ආයතනයක් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බංග්ලාදේශයේ ඉස්ලාම් අන්තවාදී සංවිධානයට අග්නිදිග ආසියාවේ වඩාත්ම බලවත් ඉස්ලාම් මූලධර්මවාදී සංවිධානයක් ලෙස ප්‍රචලිතව තිබු ජෙමා ඉස්ලාම්යා සංවිධානයෙන් පිටුවහලක් ලැබී ඇතැයි ද එම ආයතනයේ වාර්තාවක වැඩිදුරටත් සඳහන් වන බව වාර්තා වේ. වසර 2002 දී බාලි දූපතේ බෝම්බ ප්‍රහාරය සිදු කළ ජෙමා ඉස්ලාමියා සංවිධානය පසුගියදා විසුරුවා හරිනු ලැබුවද, එම සංවිධානයෙන් හා අයිඑස් ත්‍රස්ත සංවිධානයෙන් ලැබූ ආභාෂයෙන් වෙනත් සංවිධාන ආසියාතික රටවල ද ව්‍යාප්ත වීමට හේතු වූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. පසුගිය කාලයේ සිංගප්පූරුවේ සහ ඔස්ට්‍රේලියාවේ සිදුවූ විවිධ ත්‍රස්ත ක්‍රියාකාරකම් ඊට නිදසුන් බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

බංග්ලාදේශයේ ත්‍රස්ත ප්‍රහාර සඳහා මුදල් සැපයීමට සැලසුම් කළ බව කියන සිංගප්පූරුවේ සිටින බංග්ලාදේශ ජාතිකයන් සිව්දෙනකුට 2016දී එරට අධිකරණයකින් සිර දඬුවම් නියම කර තිබූ අතර, 2018 වසරේදී ත්‍රස්ත ප්‍රහාරවලට සහභාගිවීමට නැවත බංග්ලාදේශයට යෑමට සූදානම්ව සිටි බව කියන බංග්ලාදේශ සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානු ජාතිකයකු එරට අධිකරණයෙන් ත්‍රස්තවාදී චෝදනා ගොනු කර තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT