Sunday, April 20, 2025
Home » ඉන්දියාවෙන් දකුණු ලෙබනනයට ටොන් 33ක සහනාධාර

ඉන්දියාවෙන් දකුණු ලෙබනනයට ටොන් 33ක සහනාධාර

by sachintha
October 22, 2024 1:50 am 0 comment

හෙස්බුල්ලා සංවිධානයට එරෙහිව ඊශ්‍රායල හමුදාව විසින් එල්ල කරනු ලබන ප්‍රහාර හේතුවෙන් අවතැන්වූ දකුණු ලෙබනනයේ සිවිල් ජනතාවට සහන සැලසීමට ඉන්දීය රජයෙන් ටොන් 33ක ආධාර තොගයක් යවා ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහි පළමු ආධාර තොගයට ටොන් 11කින් සමන්විත වෛද්‍යාධාර වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සඳහන් කර ඇතැයි ද වාර්තා වේ. ඖෂධ, ප්‍රතිජීවක ඖෂධ, නිර්වින්දන ඇතුළු ඖෂධ තොගයක් ඊට ඇතුළත් වන බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක වැඩිදුරටත් සඳහන් කර තිබේ.

දකුණු ලෙබනනයේ වත්මන් තත්ත්වය පිළිබඳ මාධ්‍ය හමුවකදී ප්‍රකාශයක් සිදු කරමින් ඉන්දියාවේ ලෙබනන් තානාපති රබී නාර්ෂ් සඳහන් කර ඇත්තේ වසර 80කට ආසන්න කාලයක් පුරා ලෙබනනය හා ඉන්දියාව අතර පවතින සමීප සබඳතා හේතුවෙන් එම ආධාර තොගය දකුණු ලෙබනනයට ලැබී ඇති බවය.

ලෙබනනය සහ ඊශ්‍රායලය අතර දරුණු ගැටුම් පවතින දේශසීමාවේ ස්ථානගත කර සිටින මැදපෙරදිග කලාපයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයන් ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් ඉන්දියාව ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT