ගෝලීය ආර්ථිකයේ පදනම දේශපාලන බලයයි. මෙරට බල හුවමාරුවේ ප්‍රමුඛ අවශ්‍යතාව ආර්ථිකය ස්ථාපිත කිරීම වුවද බලය ලබාගැනීම සඳහා කාලයෙන් කාලයට විවිධ මාතෘකා ඉස්මතු විණි. එය යුද්ධය අවසන් කිරීමේ සිට ජාති, ආගම් රැකීම දක්වා දිගු වූ අතර, වර්තමානය වන විට දූෂණය, වංචාව, නාස්තිය අවසන් කිරීමේ අපේක්ෂාවක් බවට පත්වී තිබේ. කෙසේ වෙතත් බංකොලොත් ආර්ථිකයක් ශක්තිමත්ව ගොඩනැඟීම වත්මන් ආණ්ඩුවට ඇති මූලික අභියෝගයයි. මේ ඒ පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල සමඟ කළ සංවාදයකි.
ආර්ථිකයක් බිඳවැටෙන්නේ හදිසියේම නොවේ.
පවතින ආර්ථික අභියෝගය පිළිබඳ මනා විග්‍රහයක් ඇතිව පිළියම් සෙවිය යුතුයි.
නව රජය පත්වීමෙන් අනතුරුව ආර්ථිකය තවදුරටත් ස්ථාවර වීමේ ලක්ෂණ පෙන්නුම් කරනවා.
නිෂ්පාදන ඉහළ දැමීමෙන් තොරව ණය ගැනීමෙන් ආර්ථිකයක් ශක්තිමත් කළ නොහැකියි.
l ආර්ථිකය අවපාතයක් වූ රටක සැබෑම අභියෝගය කුමක්ද?
සැබෑම අභියෝගය ආර්ථිකය මෙවන් අගාධයකට පත්වීමට බලපෑ කාරණා පිළිබඳව පාලකයන් සේම ජනතාව අවබෝධ කර ගැනීමයි. ආර්ථිකය බිඳවැටීම හදිසියේ සිදු වූවක් නොවේ. එය කලක් තිස්සේ ගොඩනැඟි තත්ත්වයක්. මෙම තත්ත්වයට හේතු වන සිද්ධාන්තමය කරුණු මෙන්ම ආර්ථිකය හැසිරවීම පිළිබඳ දුබලතාවන්ද වෙයි. මෙරට ආර්ථිකයයේ සංයුතිය සැකසී ඇත්තේ කෘෂිකාර්මික, කාර්මික හා සේවා කියන අංශ සංවර්ධනයට ඇති බාධා ඉවත් කිරීම දීර්ඝකාලීනව සිදු නොවීම හේතුවෙන් ආර්ථික වර්ධනය මන්දගාමී තත්ත්වයකයි පවතුණේ. අපගේ අපනයන ආදායමට වැඩි වියදමක් අපනයන සඳහා ගෙවීමට සිදු වුණා. මේ හේතුවෙන් රටේ ජනතාවට එදිනෙදා අවශ්‍ය ආහාර බෙහෙත් මෙන්ම, ඉන්ධන ආදිය ලබාගැනීමට සිදු වුණේත් ණයටයි.
ආර්ථිකය බිඳවැටීමට ප්‍රථම ලෝකයේ ආර්ථික ශ්‍රේණිගත කිරීම් කරන ඇතැම් ආයතන අපේ රටේ ණය ගෙවීමට ඇති හැකියාව පිළිබඳව අනතුරු ඇඟෙව්වා. මූඩි වැනි ආයතන ණය ගෙවීමට ඇති හැකියාව පිළිබඳව ශ්‍රේණිගත කිරීමේදී අපේ රට පහළට දමාත් අනතුරු ඇඟෙව්වා. නමුත් ඒ අවස්ථාවේ ආර්ථිකය පිළිබඳ වගකිවයුතු බලධාරින් එම ආයතනවල කාර්යන් පිළිබඳව විවේචන එල්ල කළා.
පාස්කු ප්‍රහාරය, ලෝක ආර්ථික අර්බුදය, ගෝලීය කොවිඩ් වසංගතය වැනි ආර්ථිකයට බලපෑම් කරන අවස්ථා හමුවේ ආර්ථිකය අස්ථාවර වීම කඩිනම් වුණා. අවසන් ප්‍රතිඵලය වුණේ 2022 දී මහබැංකුව සතු සංචිත අවසන් බව නිවේදනය කිරීමයි.
තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, පැය 13ක් විදුලිය විසන්ධි කිරීම ඉන් අනතුරුව සිදු වුණා. මෙහි ප්‍රතිඵලයක් ලෙසයි පැවති ආණ්ඩුව ප්‍රතික්ෂේප වුණේ. ඉන් අනතුරුව තාවකාලිකව සකස් කර ගත් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කොට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සැලසුමක් සකසමින් ඩොලර් මිලියන 2.2ක ණය මුදලක් ලබාගැනීමෙන් අනතුරුවයි ආර්ථිකය පණ අදින තත්ත්වයෙන් ගලවා ගැනීමට හැකි වුණේ. රට තුළට මුදල් ගලා ඒමත් සමඟ උද්ධමනය පහළට ඒම, රුපියල යම් මට්ටමකින් ස්ථාවර වීම පොලී අනුපාත අඩු වීම වැනි කරුණු කීපයක් ආර්ථිකය සම්බන්ධයෙන් විද්‍යමාන වුණා. ආර්ථිකය සැබෑ ලෙසම ස්ථාවර වීමක් සිදු වීමට නම් තවත් කරුණු රාශියක් සිදු විය යුතුයි. පළමු කාරණය පවතින ආර්ථික අභියෝගය පිළිබඳ මනා විග්‍රයක් ඇතිව පිළියම් සෙවීමයි. පිළියම් සෙවීමේදී දිගුකාලීන සැලසුමක් ඇතිව තීන්දු ගත යුතුයි.
l ආර්ථිකය බිඳවැටීමෙන් පසු ගමන් කරන මාවත ගැන ඔබගේ විග්‍රහය ක්‍රමක් ද?
ආර්ථිකය බිඳවැටීම, නාගරික මධ්‍යම පන්තිය අත්දකින තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක් සමාජයේ ඉස්මතු වී තිබෙනවා. විදෙස් ගමන් බලපත්‍ර ගැනීම සඳහා වන පෝලිම දිනපතාම දිගු වීමෙන් පෙනී යන්නේ මෙරට ආර්ථික පිරිහීම සමාජ හා සංස්කෘතික ගැටලුවක් බවට පරිවර්තනය වී ඇති ආකාරයයි.
මේ වන විට ආණ්ඩුවේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100.6 ඉක්මවා ගිහින්. 2024 පළමු මාස 06 ගෙවෙන විට අපගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් විදිහට 120%ක් ණය. අසීරු ආර්ථික තත්ත්වය නිසාම පසුගිය සමයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 160000 පමණ වැසී ගිහින්. ආහාර වියදම පමණක් 106% සිට 135% – 138% වැනි අගයකින් වැඩි වුණා. රටේ දුප්පත්කම 61% බවයි රජය පවසන්නේ. රටේ පවුල් අතරින් 21% ප්‍රමාණයක් ණය ගැති භාවයට පත්වෙලා. විරුකියා තත්ත්වයට පත්වූ පිරිස ලක්ෂ 05ක් ඉක්මවා ගිහින්. ලෝක ආහාර සංවිධානයේ සංඛ්‍යා ලේඛන අනුව 68% ප්‍රමාණයක් ආහාර අර්බුදයෙන් පෙළෙනවා. එසේම ඔවුන්ගේ දත්තවලින් අනාවරණය වෙන්නේ මිලියන 15ක ජනතාවක් ආහාර අහේනියෙන් පසුවෙන බවයි. රටේ මන්දපෝෂණය 47%යි. මෙවන් තත්ත්වයක් දීර්ඝකාලීනව සමාජය තුළ පැවතීම ඉතිමත් අවදානම්සහගතයි. IMF රෙගුලාසි පූර්ණ කිරීම සාධනීය තත්ත්වයක පැවතියත් රජයේ සැබෑ අභියෝගය සමාජ දේහය තුළ පවතින ආර්ථික අසීරුතා ලිහිල් කිරීමයි. නව රජය පත්වීමෙන් අනතුරුව ආර්ථිකය තවදුරටත් ස්ථාවර වීමේ ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා.
රුපියල් 300ට ඉහළ අගයකින් පැවති අෙමරිකානු ඩොලරය මේ වන විට 290-298 වැනි සීමාවකට අඩු වෙලා. භාණ්ඩවල මිල යම් ප්‍රමාණයක් අඩු වෙමින් පවතිනවා. බස් ගාස්තු අඩු වීමක් සිදු වෙලා. පොහොර සහනාධාරය ලබාදීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී සහල් නිෂ්පාදන ඉහළ යාමත් සමඟ සහල් මිලෙහි අඩු වීමක් අපේක්ෂා කළ හැකියි. මේ සෑම තත්ත්වයක්ම අලුතින් රජයක් පැමිණීමෙන් අනතුරුව සමාජයේ නිතැතින් ඇතිවන උද්‍යෝගය මත ඇතිවූ තත්ත්වයක්. මින් හැඟෙන්නේ ඉච්ඡාභංගත්වයට පත් සමාජයක අපේක්ෂාසහගත බවයි. නමුත් වත්මන් රජයට ඇති අභියෝගය වෙන්නේ පාර්ලිමේන්තුවෙන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගනිමින් දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනැඟීමයි. අස්ථාවර දේශපාලන තත්ත්වයක් ඇතිවුවහොත් ඉන් දරුණුම පහර එල්ල වෙන්නේ ආර්ථිකයටයි. ආර්ථිකය ප්‍රසාරණය වීමට නම් විදෙස් ආයෝජන පැමිණිය යුතුයි. දේශීය නිෂ්පාදන වර්ධනය කළ යුතුයි. ඒ සඳහා ස්ථාවර දේශපාලන තත්ත්වයක් අත්‍යවශ්‍යයි.
l අපට ආසන්න කාලයකදී ආර්ථිකය නමැති වැල් පාලමෙන් ගොඩඒමට හැකිද?
ලොව ආර්ථිකය අර්බුදයට ගිය බහුතරයක් රාජ්‍යයන් ඉන් මිදීමට උත්සාහ කිරීමේදී තවතවත් අර්බුදයකට යාමයි සිදු වුණේ. ශ්‍රී ලංකාවේ තත්ත්වය එසේ නොවන්නට නම් පවතින තත්ත්වය ගැන මනා අධ්‍යයනයකින් සහ අවධානයකින් කටයුතු කළ යුතුයි. ඒ අතරින් පළමු කාරණය සැබෑවටම පවතින සත්‍ය තත්ත්වය හඳුනා ගැනීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවන්ට අනුව ආර්ථික වර්ධනය -8% සිට මේ වන විට කිසියම් වර්ධනයක් ඇතිකරගෙන තිබෙනවා. නමුත් 2022 අප්‍රේල් මාසයේ සිටම ණය ගෙවීම් කර නැහැ. ඒ අනුව වසරක් තුළදී ගෙවිය යුතු ණය ඩොලර් බිලියන 4කට වැඩි මුදලක් එක්වෙමින් තිබෙනවා. ඒ ණය හිමි ආයතන එම ණය කපාහැරීමක් කළහොත් සහනයක් ලැබෙනවා. නමුත් මේ නොගෙවන ණය එක්වීමෙන් සිදු වන්නේ තවදුරටත් ණය ගැනීමට ඇති හැකියාව අහිමි වීමයි. නැතිනම් ඉදිරියේදී ගෙවීමට සිදුවන ණය ප්‍රමාණය වර්ධනය වීමයි. රටක් ආර්ථික අස්ථාවර බවින් මිදීම නිර්නායක තුනකින් හඳුනාගත හැකියි. ඉන් පළමු වැන්න ගෙවීමට ඇති ණය ප්‍රමාණයට වැඩි මුදල් සංචිත ප්‍රමාණයක් මධ්‍යම බැංකුව සතුව සංචිත ලෙස පැවතිය යුතුයි. දෙවැන්න ගෙවීමට ඇති ණයවලට අදාළ පොලී මුදල් ගෙවීම ආරම්භ කළ යුතුයි. තෙවැන්න ණය ගැනීමට ඇති හැකියාව පිළිබඳව ශ්‍රේණිගත කරන ආයතන අප පිළිබඳව ඇගයීමක් ලබාදිය යුතුයි. මේ කරුණු අතරින් එකක් සිදු වී නෑ. ආර්ථිකය හැකිළීම නිසා අධි පරිභෝජනයක් කරමින් සිටි පිරිස වෙනදා කළ වියදම් කළ නොහැකිව පසුවෙන අතර, පෙර දුප්පතුන් නොවූ පහළ මධ්‍යම පන්තියෙන් පිරිසක් දුප්පතුන් බවට පත්වී තිබෙනවා. මැද පන්තියේ සාමාන්‍ය ජීවිතයක් ගත කළ අය ඒ ජීවිතය ගත කිරීමට උත්සාහ ගැනීම හේතුවෙන් තවදුරටත් ණය බරින් මිරිකෙන තත්ත්වයකට පත්වෙලා. ජන සමාජයේ සෑම පන්තියකම අපේක්ෂාව මේ අසහනකාරී තත්ත්වයෙන් මිදී සහනදායී ආර්ථික වටපිටාවක් ඇතිකර ගැනීමයි.
l මේ තත්ත්වයට දේශපාලකයන් මෙන්ම රජයේ නිලධාරිනුත් වගකිවයුත්තෝ නේද?
මේ කිසිදු තත්ත්වයක් දේශපාලකයන් නිසා පමණක් ඇති වූ දේවල් නොවේ. නමුත් පවතින ක්‍රමය තුළ දේශපාලන බලය සෑම විටම නිලධාරියාට ඉහළින් පවතින්නේ. ඒ වගේම ආර්ථිකය හැසිර වූ පිරිස වගකීම් විරහිත ලෙස ගත් තීන්දු තීරණ නිසා ආර්ථිකයට පාඩු සිදු වී තිබෙනවා. රට අගාධයෙන් ගොඩ ගැනීමට නම් දේශපාලකයන් මෙන්ම නිලධාරින් තම වගකීම් මෙන්ම සීමා හඳුනාගත යුතු වෙනවා.
l අභිනව ආණ්ඩුව කඩිනමින් සිදු කළ යුතු සංශෝධන මොනවාද?
මේ ආණ්ඩුව පත් කළ බහුතරයගේ අවශ්‍යතාව වුණේ සැමට සාධාරණ සමාජයක් ගොඩනැඟීමයි. අල්ලස, දූෂණය, නාස්තිය සමාජයෙන් අතු ගා දැමිය යුතු බව බහුතරයකගේ අදහසයි. වත්මන් ආණ්ඩුව වියදම් අඩු කිරීමට දැනටමත් පොරොන්දු දී තිබෙනවා. වියදම් අඩු කර අල්ලස සහ දූෂණය තුරන් කිරීමට විධිමත් ක්‍රියා මාර්ගවලට ප්‍රවේශ වීම අත්‍යවශ්‍ය කරුණක්.
අභිනව ආණ්ඩුවට ඡන්දය ලබාදීමේදී ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව අවධානය යොමු කළ පිරිසක්ද සිටී. මේ අය ආණ්ඩුව දෙස අපේක්ෂාසහගතව බලා සිටින්නේ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්නේදැයි දැකබලා ගැනීමටයි.
ඒ අනුව ඡන්දයෙන් අනතුරුව එළැඹෙන්නේ අය වැය වාර්තාව ඉදිරිපත් කිරීමයි. අය වැය වාර්තාව සැකසීමේ මූලික පියවර කඩිනමින් ඇරැඹිය යුතුයි. ඊළඟ වසර සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සැකසීම අත්‍යවශ්‍ය කරුණක්. ඉදිරි වසර 05 දී ළඟා කර ගැනීමට අපේක්ෂිත ඉලක්ක වෙත ළඟා වීමට අවශ්‍ය පදනම සැකසීමේ අරමුණ ඇතිවයි 2025 අය වැය සකස් කළ යුත්තේ.
l සාර්ව ආර්ථික සැලසුමක් සඳහා අවධානය යොමු කළ යුතු අංශ මොනවාද?
දීර්ඝ කාලයක් තිස්සේ මෙරට ක්‍රියාත්මක වුණේ ණයට අරගෙන ණය ගෙවන ආර්ථික සැලසුම්. ආනයනය කරමින් ජීවත් වෙන ආර්ථික සැලසුමක්. අය වැය හිඟය අඩු කිරීම, ගෙවුම් ශේෂ අඩු කිරීම වැනි කාරණා අප වැනි ආර්ථිකයක් ඇති රටකට දුරස්ථයි. ඒවා කඩිනමින් කළ නොහැකියි. බදු වැඩි කිරීමෙන් පමණක් ආර්ථිකය ශක්තිමත් කළ නොහැකියි. ඒ සඳහා තාවකාලික පිළියම් වෙනුවට ප්‍රතිපත්ති මත පිහිටා තීන්දු ගත යුතුයි. ආර්ථික විද්‍යාඥයන්ගේ කාර්ය වෙන්නේ ආර්ථිකය ප්‍රසාරණය කරන අතරේ උද්දමනය අඩු කිරීමයි. නිෂ්පාදන ඉහළ දැමීමෙන් තොරව ණය ගැනීමෙන් ආර්ථිකයක් කිසිසේත් ශක්තිමත් කළ නොහැකියි.
බුද්ධිකා බ්‍රාහ්මණගේ