උපාධිධාරීන් යනු රටකට සම්පතකි. උපාධියක් ගෙන ඔවුන් යම් රාමුවකට කොටු වී සිටී නම් ඔවුන්ගෙන් නිසි ඵල නෙළාගත නොහැකිය. ඇතැම්හු තම උපාධියට රජයෙන් ලැබෙනා රැකියාව ගැන හීන මවති. මෙවර ‘විස්කම්’ තුළින් කියන්නට යන්නේ සිවිල් ඉංජිනේරු උපාධියක් ගෙන ගස් යට වැටී කුණු වී පොළොවට පස් වන බිලිංවලින් ඩොලර් මවන තරුණයකු ගැනය.
නමින් ඉෂාර දුලීප් රත්නායක වන මොහු පදිංචිව සිටින්නේ බුත්තල ප්‍රදේශයේය. අග්නිදිග විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන මොහු ගොවීන්ගේ දහඩිය මහන්සියට නිසි වටිනාකමක් එක් කරන්නට වෙර දරන තරුණයෙකි. තමා ඉගෙනගත් සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයට අයත් රැකියාව අමතර ආදායම් මාර්ගයක් බවට පත් කර ගනිමින් මෙරට බිලිං අපනයනය ප්‍රධාන ආදායම් මාර්ගය බවට ඔහු විසින් පත් කරගෙන තිබේ. ඒ මෙරටින් බිලිං අපනයනය කරනා රේගු වාර්තාවල එකම ව්‍යවසායකයා ද වෙමිනි.
ඉෂාරගේ මවුපියන් රැකියාව ලෙස කරන්නේ ගොවිතැනය. ඔවුන් කොතරම් මහන්සි වී අස්වනු නෙළා ගත්ත ද වැඩි ලාභයක් ලබන්නේ අතරමැදියන් බව තේරුම් ගත් ඉෂාර ඒවා අපනයනය කිරීම ගැන සොයා බලන්නේ ඉන් පසුවය. පළමුව මඤ්ඤොක්කා, තැඹිලි, කිරිඅල, රාජඅල සහ ගස්ලබු වැනි දේ අපනයනය කිරීම අරඹන ඔහුට අමෙරිකාවේ හරි අපූරු ව්‍යාපාරිකයකු මුණගැසෙන්නේ අහම්බයෙනි. ඒ ඔහු වෙළෙඳ ව්‍යාපාරික කටයුත්තකට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවකදීය.
“මේ බිලිං නේද…? අයියෝ ඇයි මේව ගස් යට වැටිල යන්නෙ… පුළුවන්නම් මට එකතු කරල එවන්නකො අමෙරිකාවට….”
ඒ ඉෂාරගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විය. එලෙස ඇරඹුණු ගමන්මඟ අද මහා පරිමාණ බිලිං අපනයනය කරනා ව්‍යවසායකයකු බවට ඔහුව පත් කර ඇත.
ඉෂාර රට පුරා සිටිනා බිලිං වවන්නන් ළඟටම ගොස් ඒවා එකතු කරන්නේ ගොවීන්ගේ දුක හොඳින් හඳුනන බැවිනි. මෙහිදී ඍජුවම බිලිං මිල දී ගැනීමෙන් අතරමැදියන් අතට යන කොමිස් මුදල් ද ගොවීන්ටම ලැබීම ද තවත් විශේෂත්වයකි. මෙලෙස එකතු කර ගන්නා බිලිං බුත්තල ප්‍රදේශයේ තම කර්මාන්තශාලාවට රැගෙන එන ඉෂාර ඒවා හොඳින් සෝදා පිරිසුදු කර අනවශ්‍ය කොටස් ඉවත් කර ගැනීමකින් අනතුරුව ළිපේ තබා තම්බා ගනී. ඉන්පසු ඒවා කුඩා කෑලිවලට කඩා සුදුලූනු සහ විනාකිරි එක්කර නිවීමට හැර ජීවානුහරණය කරන ලද භාජනවලට දමා අපනයනය කිරීමට සූදානම් කරයි.
මෙලෙස සාදන ලද බිලිං මිශ්‍රණය අමෙරිකාවට ගෙන යන්නේ විශේෂිත සෝස් වර්ගයක් සෑදීමටය. ඒවා අමෙරිකාවේදී සෝස් බවට පත් කර අප්‍රිකානු රටවලට වැඩි මිලකට අලෙවි කරනු ලබන්නේ ඉෂාරට හමු වූ අමෙරිකානු ව්‍යාපාරිකයායි.
ගස් යට ඉදෙමින් වැටී යන බිලිංවලට හොඳ වටිනාකමක් එකතු කිරීමට මෙම උපාධිධාරියා සමත් වී ඇති අතර ඔහු විසින් දැනට අපනයනය කරනු ලබන බිලිං ප්‍රමාණවත් නොවන බව ද ඔහු පවසන්නේය.
“ඇත්තටම බිලිං වැඩිපුරම තියෙන්නේ පෙබරවාරි සිට මැයි මාසවලයි. ඒත් අප රටේ සෑම දිස්ත්‍රික්කයකම වාගේ අවුරුද්ද පුරාම බිලිං තිබෙනවා. දැන් ටික ටික බිලිං වගා කරල තියෙන කට්ටිය අපට කතා කරල ඵලදාව ලබා දෙනවා. ගොඩක් අය දන්නෙ නෑ අපි මෙහෙම බිලිං එකතු කරනව කියලා. මේ වගේ හදපු බිලිං මිශ්‍රණ කිලෝග්‍රෑම් 10,000ක් අපි පසුගිය කාලයේ අමෙරිකාවට යැව්වා. අපට ඉල්ලුමට හරියන සැපයුමක් දෙන්න බැහැ. ඒකට හේතුව බිලිං සොයා ගැනීමේ අපහසුවයි. රජයෙන් බිලිං වගා ව්‍යාපෘතියකට ඉඩක් ලැබෙනව නම් එය ගොවීන්ටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.”
ඉෂාරගේ හීන බිලිංවලින් නතර කරන්නට ඔහු සූදානම් නැත. අනාගත සැලසුම් ගැන ඔහු කීවේ මෙසේය.
“අපි දැනට අමෙරිකාවට යවන බිලිං මිශ්‍රණය වගේම බිලිංවලින් හදන බීමක් ගැනත් පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. දැනට ඒවා පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. ඒ වගේම කුරුඳු, හර්බල් ටී මෙන්ම තැඹිලි වතුර විශේෂිත පාන ලෙස අපනයනය කිරීමත් අපේ ඉලක්කයක්.”
ඒ තරුණ ව්‍යවසායකයකුගේ අනාගත බලාපොරොත්තුවලින් කිහිපයකි.
වාර්ෂිකව බිලිංවලින් ඩොලර් මිලියනයක පමණ ආදායමක් ඉපැයීමට සැලසුම් ඔහු දැනටමත් සකසා අවසන්ය. බිලිං වාණිජ වගාවක් ලෙස ව්‍යාප්ත කර ගැනීමට ඔහු රජයේ ද සහයෝගය බලාපොරොත්තු වන අතර මෙවැනි ව්‍යවසායකයන් ගැන අමාත්‍යාංශ හරහා ද අවධානය යොමු විය යුතුය. අපනයන ආර්ථිකයට මෙවැනි තරුණ ව්‍යාවසායකයන් බෙහෙවින් වටී.
ගයාන් සංජය