Home » යාචක පිරිස් සමාජගත කිරීමට පියවර ගත්තත් සිඟමනෙන් ලැබෙන ඉහළ ආදායම් නිසා එය ප්‍රතික්ෂේප කරයි

යාචක පිරිස් සමාජගත කිරීමට පියවර ගත්තත් සිඟමනෙන් ලැබෙන ඉහළ ආදායම් නිසා එය ප්‍රතික්ෂේප කරයි

by sachintha
October 21, 2024 1:20 am 0 comment

යාචකයින් ඉන් මුදා ගෙන සමාජගත කරමින් එවැනි පිරිස් සඳහා ස්වයං රැකියාවලට යොමු කිරීම, නිවාස සාදා දීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කළද ඔවුන් ඒවා ප්‍රතික්ෂේප කිරීම දිගින් දිගටම සිදුවන බවත් එම යාචකයන් සිඟමන් තුළින් ලැබෙන ඉහළ ආදායම එයට ප්‍රබල හේතුවක් වී ඇති බවට තොරතුරු අනාවරණය වෙයි.

ග්‍රාමීය සමාජ සංවර්ධන ආයතනය විසින් අනුරාධපුර නගරයේ සිටින යාචකයින්, දරුවන් වෙ‍ෙළඳාම සඳහා යොදා ගැනීම හා ලිංගික ශ්‍රමිකයින් නිසි පරිදි සමාජගත කිරීම සඳහා ගතයුතු මූලික පියවර පිළිබඳව රාජ්‍ය නිලධාරීන් සමඟ අනුරාධපුර ක්‍රීස්ටන් පාර්ක් හෝටලයේ දී පසුගියදා පැවැති සාකච්ඡාවකදී මෙම තොරතුරු අනාවරණය විය.

මෙහිදී අනුරාධපුර නගරයේ පවතින යාචක ගැටලු සම්බන්ධයෙන් අදහස් දක්වමින් අනුරාධපුර සහකාර දිස්ත්‍රික් ලේකම් ආර්.ඩී.එම්.පී.එස්.බී. යසරත්න මහතා මෙලෙස සඳහන් කළේය.

ඓතිහාසික අනුරාධපුර නගරය කේන්ද්‍රය කර ගනිමින් වර්තමානය වන විට වීදි වෙළෙඳුන්, යාචකයින්, ලිංගික ශ්‍රමිකයින් හා ළමුන් වෙළෙඳාම සඳහා යොදා ගැනීම වැඩි වශයෙන් සිදු වනවා. බොහෝ විට මෙම පිරිස් අනුරාධපුර නගරයේ පිරිස් ද නොවෙයි ඔවුන් පිට පළාත්වලින් පැමිණි අයයි. මේ හරහා සමාජ ප්‍රශ්න රාශියක් ඇති වී තිබෙනවා. එම දරුවන් පාසල් නොයෑම, අනුරාධපුරයට වන්දනාමාන කිරීමට එන බැතිමතුන්ට සිදුවන බාධාකාරී සිද්ධීන් ආදිය ඒ අතර ප්‍රධානයි. මේ නිසා ඔවුන්ව නිවැරදි අයුරින් ප්‍රතිශෝධනයට ලක්කිරීම තුළින් යහපත් සමාජයක් හා පිරිසිදු නගරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය ක්‍රමවත් වැඩ පිළිවෙළක් නොපමාව ක්‍රියාත්මක කළයුතු යැයි ද පැවැසීය.

මේ සඳහ ගතහැකි විකල්ප ක්‍රියාමාර්ග ලෙස මොවුන්ගේ ආකල්ප සංවර්ධනය වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම, මොවුන් සඳහා ජාතික හැඳුනුම්පතක් හෝ ‍ඡන්දහිමියන්ගේ නාමලේඛනයේ නම් නොමැති පිරිස් ඒ සඳහා යොමු කිරීම, නීතිමය පසුබිමක් සමඟ ගතහැකි ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි දැඩි අවධානය යොමු කෙරිණි. ඒ සඳහා ග්‍රාමීය සමාජ සංවර්ධන ආයතනය, (NTT) ආයතනයේ අනුග්‍රහයෙන් මෙම පිරිස ස්වයංරැකියා සඳහා යොමු කිරීම, දරුවන් පාසල් හා වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීම, ලිංගික ශ්‍රමිකයින්ගේ කුසලතා දියුණු කර වෙනත් රැකියා සඳහා යොමු කරවීම ආදී විධිමත් හා ක්‍රමානුකූල, නිර්මාණශිලී වැඩ සටහනක් දියත් තීරීමට තිරණය කළේය. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතාගේ සංකල්පයක් අනුව මෙම වැඩසටහන සිදු කෙරිණි.

මෙම සාකච්ඡාව සඳහා නැඟෙනහිර නුවරගම් පළාත සහකාර ප්‍රාදේශීය ලේකම් නිර්මාණි අමරතුංග, උතුරු මැද පළාත් පරිවාස කොමසාරිස් ටී.එස්.සී. පෙරේරා මහත්මිය, දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකරණ නිලධාරිවරුන් වන සුමිත් රත්නායක හා ක්ෂුද්‍ර මූල්‍ය සම්බන්ධීකාරක නිලධාරි එච්.එම්. අබේරත්න,

ග්‍රාමීය සමාජ සංවර්ධන ආයතනයේ විධායක අධ්‍යක්ෂ නිමල් පද්මසිරි, වනිතා කටයුතු නිලධාරි, ළමා ආරක්ෂක නිලධාරි, මනෝ උපදේශන නිලධාරින් හා මේ සම්බන්ධ රේඛීය ආයතන නිලධාරින්, පොලිසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, වාණිජ මණ්ඩලය හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු මහත් මහත්මීහු රැසක් මේ සඳහා එක්ව සිටියහ.

 

අනුරාධපුර අතිරේක අමිල ප්‍රභාත් වනසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT