ගොවි පවුලක පුතකුට රටේ ජනාධිපති පුටුවට යෑමට හැකි වුණේ යූඇන්පීකාරයකු වූ කන්නන්ගරගේ නිදහස් අධ්‍යාපනයත්, ඩණ්ඩාරනායකගේ ස්වභාෂා අධ්‍යාපන ප්‍රතිපත්තියත් නිසා බවත්, පසුගිය හැත්තෑෙහය වසරේදී රටට කිසිම දෙයක් සිදුව නැතැයි එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් දෙවැනි පරපුර නායක උවිඳු විජේවීර මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ කුරුණෑගල, රන්තලිය වැව් තාවුල්ලේදී පැවැති එම පක්ෂයේ මංගල ජන හමුව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසුවේය.
“එල්ටීටීඊ බෙදුම්වාදය පරාජය කරන්න මේ රටේ ආරක්ෂාවට වැඩිම සොල්දාදුවන් පිරිසක් දායාද කළ දිස්ත්‍රික්කය තමයි කුරුණෑගල. ඒ වගේම තමයි මේ රටේ ආර්ථික අර්බුදය හමුවේ වැඩිම විදෙස්ගත ශ්‍රමිකයන් පිරිසක් නිර්මාණය කළෙත් මේ දිස්ත්‍රික්කය. ඉතිහාසයේ රාජධානි තුනකට උරුමකම් කියූ හැත්තෑඑකේ අරගලයට අසූඅට අසූනවය අරගලයේදී මේ මහ පොළොවට රුධිරය පූජා කළ විශාල කණ්ඩායමක් එකතු කළ පුරවරයක් තමයි මේ කුරුණෑගල කියන්නේ. එවැනි ප්‍රතාපවත් වීරවත් මිනිසුන්ගේ රුධිරයෙන් පෝෂණය ලබන දිස්ත්‍රික්කයකින් තමයි අපේ දේශපාලන සටන ආරම්භ කිරීමට තීරණය කළේ.
අපි දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරය කියන්නේ රටට අලුත් පක්ෂයක්. ඔබ ඒ පක්ෂයට තාම ඡන්දයක් දීලා නෑ. ඔබ අප සමඟ අලුතෙන් තමයි එකතු වෙලා ඉන්නේ. මෙරට පක්ෂ දෙකක් තියෙනවා. එකක් තමයි පක්ෂ කඩලා පක්ෂ හදන පක්ෂය. අනෙක තමයි පක්ෂ එකතු වෙලා හදන පක්ෂ. මේ අනුව බැලුවාම මෙරට පළමුවෙන්ම බිහි වූ දේශපාලන පක්ෂ තමයි එක්සත් ජාතික පක්ෂය සහ ලංකා සම සමාජ පක්ෂය. ටික කාලයක් යනකොට එක්සත් ජාතික පක්ෂයෙන් එළියට ගිහින් බණ්ඩාරනායක මහත්තයත්, ඩී. ඒ. රාජපක්ෂ මහත්තයත් හදනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මේ අනුව තමයි මේ රටට වාම කඳවුරත්, ජාතික කඳවුරත්, ලිබරල් ධනවාදී කඳවුරත් හදන්නේ. මේ අනුව මේතාක් කල් මෙරට තියෙන සියලුම දේශපාලන පක්ෂ දිහා බැලුවාම එක්කෝ පක්ෂ කඩලා හදපු පක්ෂ. එහෙම නැත්නම් එකතු වෙලා හදපු පක්ෂ.
මේ විදිහට පසු කාලයේදී මේ රටේ දේශපාලන පක්ෂ රැසක් බිහි වෙනවා. මෙයින් රටට හොඳ දේවලුත් වෙලා තියෙනවා. අපි ඉතිහාසයේ සමුච්චයටම වැරදි කියන පිරිසකුත් නොවෙයි. නරක දේවලුත් වෙලා තියෙනවා. එහෙම බැලුවොත් දැන් මේ රටේ ඉන්නේ ලාංකීය පුරවැසියන් නොවෙයි. දැන් මේ රටේ ඉන්නේ නිල්පාට, කොලපාට, රතුපාට කියන පක්ෂවලට කණ්ඩායම්වලට බෙදුණු මිනිස්සු. මේ බෙදීමත් එක්ක මේ රට ගොඩගන්න බෑ. මේ නිසා අපට අවශ්‍යයි ලාංකීය වශයෙන් හිතන්න පුළුවන්, රට මුලට තියලා හිතන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක්, ජනතා ව්‍යාපාරයක් මේ මහ පොළොවේ පැළ කරල හදන්න. අන්න ඒ වෙනුවෙන් තමයි දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරය නිර්මාණය වෙන්නේ.”
කුරුණෑගල අතිරේක පුෂ්පකුමාර ජයරත්න