අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට තවත් වසර එකහමාරක පමණ කාලයක් නිදහසේ රට කරවීමට අවස්ථාව දිය යුතු බවත්, එවිට ඔහුගේ පාලනය පිළිබඳව තක්සේරු කිරීමට ජනතාවට හැකියාව ලැබෙන බවත් හිටපු රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න මහතා පවසයි.
හිටපු රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ එළැඹෙන මහමැතිවරණයට නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂය යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරගවදින කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීමට උඩුනුවර ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු රාජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් තිබෙනවා, ඒ තමයි අපේ අභිප්‍රාය විය. යුත්තේ ඔළු ගෙඩි මාරු කර ඉක්මනින් බලගැනීම නොවන බව. තවත් මාස හයක්, අවුරුද්දක්, අවුරුදු එකහමාරක් මේ ආණ්ඩුව කරගෙන යෑමට අවස්ථාව දිය යුතුයි කියන දේ. එවිට අනුර දිසානායකගේ ආණ්ඩුව කොහොමද කියලා ජනතාවට තේරුම් ගන්න පුළුවන් වෙනවා.
ඒ අතරේ අපි ශක්තිමත් විපක්ෂයක් හැදිය යුතුයි. ඒ වෙනුවෙන් අපේ මේ ජනතාව නොවැම්බර් 14 වැනිදා නිවැරදි තීරණයක් ගෙන ගෑස් සිලින්ඩරය යටතේ තරග කරන වැඩි ඔළු ගෙඩි ප්‍රමාණයකින් එම විපක්ෂය ශක්තිමත් කළ යුතුයි. සජිත් ප්‍රේමදාස මහතා වැරදීමකින්වත් බලය ගන්නේ නෑ. ඔහුට මේ රටේ ජනාධිපති හෝ අගමැති වීමට අවශ්‍යතාවක් නෑ. අපේ වැඩසටහන ඉදිරියට යන විට සජිත් ප්‍රේමදාස මහතාට ඊළඟ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයත් නැති වෙනවා. අනුර දිසානායක ආණ්ඩුව භාර ගත්තා කියලා, අපි විපක්ෂයට ගියා කියලා,හෙට ආණ්ඩුව වැටෙන්න කියන කුහක තැන අපි නෑ. නමුත් මතක තියාගන්න රට වැටෙනකොට ඔබ අප සියලු දෙනාට එකට පෝලිම්වල ඉන්න සිද්ධ වෙනවා. පහුගිය සමයේ තෙල්, ගෑස්, කිරිපිටි නැති වුණාම නිල්, කොළ, රතු කියලා භේදයක් නැතුව අපි සියලු දෙනාට එකට පෝලිම්වල දුක් විඳින්න සිද්ධ වුණා. කර්මාන්ත ශාලා වැහෙනකොට වැඩ කරන්න විදිහක් නැතුව අපි සියලු දෙනාට දුක් විඳින්න සිද්ධ වුණා.
එසේනම් වැටෙන රට ගොඩගන්න සමත් පිරිසක් පාර්ලිමේන්තු යවන්න ජනතාව කටයුතු කළ යුතුයි. වැටුණු රට ගොඩ ගත්, ඒ සඳහා අත්දැකීම් ඇති පිරිස සිටින්නේ ගෑස් සිලින්ඩරය යටතේ. නොවැම්බර් 14 වැනිදා ඡන්දයේදී ගෑස් සිලින්ඩරය කණ්ඩායමේ වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමට ඔබ තමුන්නාසේලා කටයුතු කළ යුතුයි.