Home » 47 මැතිවරණය දේශපාලනයේ සන්ධිස්ථානයක්

47 මැතිවරණය දේශපාලනයේ සන්ධිස්ථානයක්

by sachintha
October 21, 2024 1:22 am 0 comment

1947 මැතිවරණය මෙරට දේශපාලන ඉතිහාසයේ සන්ධිස්ථානයක් සේ සැලකිය හැකිය. ඒ හේතුසාධක කිහිපයක් නිසා ය.

(I) පළමු ශ්‍රී ලාංකේය ආණ්ඩුව පිහිටුවීම සඳහා පැවැති මැතිවරණය

(II) පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් කිරීම මහජන ඡන්දයෙන් මන්ත්‍රීවරුන් පිරිසක් තේරාගැනීම හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ තවත් පියවරක් වීම

(III) නිදහස ලබා ගැනීමට ආසන්න කාලයේ මැතිවරණය පැවැත්වීම

පහළොස්වන සියවසේ සිට 19 සියවසේ මැද භාගය වනතුරු රට පාලනය වූයේ ස්වදේශික සමාජ, ආර්ථික හා සංස්කෘතික ගතිකයන්ට ගැළපෙන අයුරින් නොවේ. ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් මහජනයා තුළ පැවැතිණි. ස්වයංපෝෂිත ආර්ථිකය වැවිලි ආර්ථිකයකට පරිවර්තනය විය. අධ්‍යාපනය, සෞඛ්‍යය, ආගම ඇදහීම බටහිර පන්නයට සකස් වෙමින් පැවැතිණි. සංස්කෘතික උරුමයන් නොසැලකිල්ලට ලක් විය.

I. පෘතුග්‍රීසි යුගය ( 1505 – 1658)

II. ලන්දේසි යුගය ( 1658 – 1796)

III. ඉංග්‍රීසි යුගය ( 1796 – 1948)

15 සියවස් වන විට යුරෝපය තුළ වෙළෙඳ තරගයක් පැවැතිණි. එකල කිසියම් රටක භාණ්ඩාගාරය සතු රන් සංචිත ප්‍රමාණයට අනුව එම රාජ්‍ය‍ෙය් ධනවත්කම නිර්ණය කරනු ලැබිණි.

මේ අනුව වෙළෙඳාමෙන් වැඩි වාසි ලබාගෙන රන් සංචිත ප්‍රමාණය වැඩිකර ගැනීම යුරෝපා රටවල ඉලක්කය වී තිබිණි. පෘතුගාලය, ස්පාඤ්ඤය, ප්‍රංශය, ඕලන්දය හා මහා බ්‍රිතාන්‍ය මේ තරගයට දැඩි ලෙස නැඹුරු වූහ. විදේශීය රටවල් ආක්‍රමණය කරමින් එම රටවල සම්පත් සූරාකෑම ඔවුන්ගේ උපාය මාර්ගය විය. වැඩි නාවික බලයක් වූ, හමුදා බලයක් ද, පැවැති මහා බ්‍රිතාන්‍ය මේ තරගයෙන් වැඩි වාසි ලබාගත් බව පෙනෙයි.

ඉංග්‍රීසි පාලනය දීර්ඝ කාලයක් පැවැති අතර මුළු රටම යටත් කර ගනිමින් රටේ ආර්ථිකය හා දේශපාලනය පරිවර්තනයකට ලක් කළ යුරෝපා ජාතිකයන් වන්නේද ඉංග්‍රීසින්ය. නිදහස පිළිබඳ ආකල්පය ජාතියේ ප්‍රමුඛ අවශ්‍යතාව බවට පත්වන්නේ මේ කාලපරිච්ඡේදයේදීය. ඒ අනුව නිදහස් අරගල වරින්වර ඇති විය. මහා බ්‍රිතාන්‍ය කිරීටය එම අරගල මර්දනය කළ අතර ජනතාව අසීරුතාවට ලක් කරන බදු ක්‍රමයක්ද පවත්වාගෙන ගියේය. එහෙත් අවසන් ලෙස රටට නිදහස ලබා දෙන්නටත් නව පාලන ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නටත් ඉංග්‍රීසිහු උත්සුක වූහ. ඉන් පෙනී යන්නේ ඉංග්‍රීසි පාලනය රටට යම් යහපතක් ද සිදුකර ඇති බවය. ඉංග්‍රීසි පාලනය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දේශපාලන ප්‍රතිසංස්කරණ කිහිපයක් ඇති කළේය.

(I) 1833 – ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව හා විධායක මන්ත්‍රණ සභාව පිහිටුවීම

(II) 1910 – මැකලම් ප්‍රතිසංස්කරණ

(III) 1920 – විලියම් මැනිං ප්‍රතිසංස්කරණ

(IV) 1927 – ඩොනමෝර් කොමිෂන් සභාව

(V) 1947 – සෝල්බරි ප්‍රතිසංස්කරණ

සෝල්බරි ප්‍රතිසංස්කරණ මත සකස් වූ පළමු ආණ්ඩුවේ පරිපාලන ව්‍යුහය හා පාර්ලිමේන්තුවේ සංයුතිය මූලික වශයෙන් කොටස් තුනකින් සමන්විත විය.

(I) නියෝජිත මන්ත්‍රී මණ්ඩලය

(II) උත්තර මන්ත්‍රී මණ්ඩලය

(III) කැබිනට් මණ්ඩලය

කැබිනට් මණ්ඩලය විධායකය වූ අතර එහි ප්‍රධානියා අගමැති විය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හා උත්තර මන්ත්‍රී මණ්ඩලය ව්‍යවස්ථාදායකය විය. උත්තර මන්ත්‍රී මණ්ඩලයෙන් දෙදෙනකු කැබිනට් මණ්ඩලයට තෝරා ගැනුණු අතර ඉතිරි අය මහජන ඡන්දයෙන් තෝරා පත්කර ගැනුණු නියෝජිතයෝ වූහ. අලුත් ව්‍යවස්ථාවක් සම්මත වීමට නම් මණ්ඩල දෙකෙන්ම අනුමැතිය ලබාගත යුතුය. මහා බ්‍රිතාන්‍ය‍ෙය් කිරීටය නියෝජනය කරමින් අග්‍රාණ්ඩුකාරයා ක්‍රියාත්මක විය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය 101 දෙනකුගෙන් සමන්විත විය. ඉන් හය දෙනකු අග්‍රාණ්ඩුකාරයාගේ අභිමතය මත පත් කරනු ලැබිණි. ඉතිරි නියෝජිතයෝ මහජන ඡන්දයෙන් පත්වූහ. උත්තර මන්ත්‍රී මණ්ඩලයට තිස් දෙනෙක් අයත්වූහ. 15 දෙනෙක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් ද ඉතිරි 15 දෙනා අග්‍රාණ්ඩුකාරයාගේ අභිමතය පරිදි ද පත්වූහ. ශ්‍රී ලංකාවට විශේෂ සේවාවක් සිදු කළ අය මේ සඳහා අවධානයට යොමු කළ යුතු බව සඳහන් ය.

සෝල්බරි ප්‍රතිසංස්කරණ විරුද්ධතාවලින් තොරව දේශීය නායකයන් විසින් පිළිගන්නා ලද අතර එයින් රටේ රාජ්‍ය පාලනය නිරවුල් වූ බවක් පෙනී යයි. මහජන ඡන්දය කෙරෙහි මුළු රටේම අවධානය යොමු වී තිබිණි. යටත්විජිත රාජ්‍යයන්හි මේ කාලය වන විට දේශපාලන අවුල් හා මහජන අරගල දකින්නට ලැබුණු අතර ශ්‍රී ලංකාව ඒ තත්ත්වයෙන් නිදහස් වී මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පත්කර ගැනීමට සමත්විය. එය දේශපාලන ජයග්‍රහණයක් සේ සැලැකිය හැකි ය. ඉන්දියාව, බුරුමය වැනි රටවල පවා මේ වන විට පැවැතියේ අවුල් සහගත තත්ත්වයකි. ඒ අනුව බලනවිට පෙනී යන්නේ සෝල්බරී ප්‍රතිසංස්කරණ මෙන්ම එහි යෝජනාවලට අනුව පැවැත්වූ 1947 මහමැතිවරණයද මෙරට දේශපාලන ගමන් මඟෙහි ජයග්‍රහණයක් බවයි.

එක්සත් ජාතික පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, වතු කම්කරුවන් කේන්ද්‍ර කොටගත් දෙමළ ජාතික පක්ෂ කිහිපයක් හා ස්වාධීන කණ්ඩායම් ද මැතිවරණයට ඉදිරිපත් වූහ. එක්සත් ජාතික පක්ෂය මැතිවරණයේ වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගත් අතර අත්තනගල්ලෙන් එජාපය නියෝජනය කළ බණ්ඩාරනායක මහතා වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තේ ය. එක්සත්ජාතික පක්ෂයේ නායකයා හැටියට මහාමාන්‍ය ඩී.එස්. සේනානායක අගමැති පදවියට පත්විය. ඒ ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයාය. මේ පත්වීම ගැන “ලන්ඩන් ටයිම්ස්” පුවත්පත කතුවැකියක් පවා ලියා තිබිණි. එහි සඳහන් වූයේ ඩී.එස්. කාර්යක‍්ෂම හා පළපුරුද්ද සහිත දක්ෂ තැනැත්තකු බව ය. ඔහු ශ්‍රී ලංකාව ඔසොවා තබනු ඇතැයි ද ජනතා අපේක්ෂා ඉටු කරනු ඇතැ‘යිද එංගලන්තය විශ්වාස කිරීම ප්‍රසාදජනක කාරණයකි.

අගමැති පදවියේ දිවුරුම් දීමෙන් පසු දළදා මාලිගාව වැඳපුදා ගැනීමට ගිය ඩී.එස්. සේනානායක මහතා ජනතාවගේ ජීවන අභිලාෂයන් ඉටුකිරීම සඳහා උපරිම උත්සාහයෙන් ක්‍රියාකරන බවට පොරොන්දුවක් ලබා දුන්නේය. රට පුරා උත්සව පැවැතිවිණි.

 

රන්ජන් අමරරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT