Home » වතුකරයේ පාසල් සඳහා STEM ගුරු පුහුණු වැඩසටහන සාර්ථකව අවසන්

වතුකරයේ පාසල් සඳහා STEM ගුරු පුහුණු වැඩසටහන සාර්ථකව අවසන්

by chanaka
October 20, 2024 11:16 am 0 comment

ශ්‍රී ලංකාවේ වතුකරයේ පාසල් සඳහා ඉන්දියානු ආධාර යටතේ STEM විෂයයන් සඳහා මාස 3ක දීර්ඝ ගුරු පුහුණු වැඩසටහනේ සමාප්ති උත්සවය පසුගියදා (18 ) පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් එච්.ඊ. සන්තෝෂ් ජා මහතා, අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු පිරිසක් එක්විය.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි සැලසුම් කරන ලද මෙම වැඩසටහන මඟින් දිවයිනේ වතුකරයේ පාසල්වල ගුරුවරුන්ට STEM විෂයයන් (භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි සහ ජීව විද්‍යාව) පිළිබඳ පුහුණුව ලබා දීම අරමුණු කර ගනිමින් දියත් විය. ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ප්‍රජාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200 ක් සපිරීම නිමිත්තෙන් පසුගිය වසරේ ප්‍රකාශයට පත් කරන ලද ඉන්දීය රුපියල් මිලියන 750 ක බහුආංශික ඉන්දියානු ප්‍රදාන ආධාර යටතේ එය සංවිධාන කරන ලදී.

වැඩසටහනේ අනුග්‍රහය යටතේ, 2024 ජූලි මාසයේදී STEM විෂයයන් පිළිබඳ පුහුණුව ලබා දීමේ විශේෂඥ ඉන්දීය ගුරුවරුන් 19 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණියහ. ජාතික අධ්‍යාපන ආයතනය විසින් සංවිධාන කරන ලද ව්‍යුහාත්මක දිශානති මොඩියුලයකට සහභාගී වීමෙන් පසු, ගුරුවරුන් වතුකරයේ පාසල්වලට යොදවමින් ගුරු පුහුණු වැඩසටහන ආරම්භ විය.

මධ්‍යම, ඌව, සබරගමුව සහ බස්නාහිර පළාත් පුරා පැතිරී ඇති මධ්‍යස්ථාන 40කට ආසන්න ප්‍රමාණයක සති 10ක වැඩසටහනක් පවත්වන ලද අතර, ඉන්දීය ගුරු-පුහුණුකරුවන් විසින් ලබා දුන් පුහුණුවෙන් ශ්‍රී ලාංකික ගුරුවරුන් 2000කට වැඩි පිරිසක් ප්‍රතිලාභ ලබා ගත්හ.

2024 ඔක්තෝම්බර් 18 වැනි දින පැවති සමාප්ති උත්සවයේ දී ඉන්දීය මහ කොමසාරිස්වරයා සිය අදහස් දක්වමින් කියා සිටියේ සාර්ථක මෙම ගුරු පුහුණු වැඩසටහන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින අද්විතීය පුද්ගල බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වන තවත් මුලපිරීමක් බවයි.

මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ ජනතාවගේ අවශ්‍යතා සහ ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතාවයන් මත මෙහෙයවනු ලබන, එදිනෙදා ජීවිතයට ධනාත්මක බලපෑමක් ඇති කරමින්, ශ්‍රී ලංකාව තුළ ඉන්දියාවේ සංවර්ධන හවුල්කාරිත්ව මුලපිරීම්වල දිගුකාලීන ලැයිස්තුවට එක් කර ඇති බව ඔහු අවධාරණය කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT