එමිරේට්ස් ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අබුඩාබි දහයයි10 (T10) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයන් කෙටුම්පත් කිරීම හෙවත් කණ්ඩායම් සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීම පෙරේදා රාත්රියේදී සිදු කෙරිණි.
කණ්ඩායම් 10ක් තරග වදින මෙවර තරගාවලිය වෙනුවෙන් කණ්ඩායමක් 8ක් විසින් පෙරේදා රාත්‍රියේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 15 දෙනකු මිල දී ගැනීමට කටයුතු කළ අතර, ඉන් පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 7 දෙනකු කණ්ඩායම්වල රඳවා ගැනීමට සහ ඍජුව ගිවිසුම්ගත වීමට කටයුතු කර තිබිණි. ඒ අනුව මෙවර තරගාවලියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 22ක් තරග බිමට පිවිසීමට නියමිතය.
ඒ අනුව මතීෂ පතිරණ (නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස්), වනිඳු හසරංග (දිල්ලි බුල්ස්), තිසර පෙරේරා සහ නුවන් තුෂාර (චෙන්නායි බ්‍රේව් ජගුවර්ස්) අලුතින් ගිවිසුම් ගත වූ අතර, මහීෂ් තීක්ෂණ (ඩෙකෑන් ග්ලැඩියේටර්ස්), දසුන් ශානක (බංග්ලා ට්රයිගර්ස්) සහ භානුක රාජපක්ෂ (චෙන්නායි) කණ්ඩායම් විසින් රඳවාගෙන තිබිණි.
ක්‍රීඩක කෙටුම්පත් කිරීමේදී ශෙවෝන් ඩැනියෙල්, දුනිත් වෙල්ලාලගේ, ෂෙහාන් ජයසූරිය මේ තරගාවලියට පළමු වරට එක්වන බෝල්ට්ස් අජ්මාන් පිල විසින් මිලදී ගෙන ඇති අතර, රවිඳු රත්නායක (බංග්ල් ටයිගර්ස්), මල්ෂ තරුපති (ඩෙකෑන් ග්ලැඩියේටර්ස්), අකිල ධනංජය, ගරුක සංකේත් සහ කවිඳු නදීෂාන් (චෙන්නායි බ්‍රේව්), කසුන් රාජිත සහ පවන් රත්නායක (දිල්ලි බුල්ස්), කුසල් පෙරේරා සහ දුමිඳු සෙව්මින (නිව්යෝර්ක්), ඇන්ජලෝ මැතිව්ස් සහ මුදිත ලක්ෂාන් (ටීම් අබුඩාබි) සහ බිනුර ප්‍රනාන්දු (යූපී නවාඩ්ස්) කණ්ඩායම් එක් කර ගැනීමට කටයුතු කර ඇත.
මොරිස්විල් සැම්ප් ආමි සහ නොදර්න් වොරියස් කණ්ඩායම් විසින් කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් මිලදී ගැනීමට කටයුතු කර නොතිබිණි. මෙවර තරගාවලියට අලුතින් යූපී නවාඩ්ස් සහ බෝල්ට්ස් අජ්මාන් කණ්ඩායම දෙක එක්ව සිටී. පසුගිය වසරේ පැවති තරගාවලියේදී නිරෝෂන් දික්වැල්ල සහ චාමික කරුණාරත්න නියෝජනය කළ නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ශූරතාව දිනා ගත්තේය.
මෙවර තරගාවලිය ලබන මස 21 වැනිදා සිට දෙසැම්බර් 2 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.