උත්සව හා විශේෂ පිළිගැනීම්වලින් තොරව රුපියල් මිලියන 220ක් වැයකොට ඉදිකළ ඕමන්තේ ගෘහස්ථ ක්‍රීඩා මධ්‍යස්ථානය හා රුපියල් මිලියන 60ක් වැයකොට ඉදිකළ එම ක්‍රීඩා සංකීර්ණයේ මීටර් 25 පිහිනුම් තටාකය ඊයේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අතින් ජනතා අයිතියට පැවැරුණි. කිසිදු දේශපාලනඥයකුගේ සහභාගීත්වයෙන් තොරව රජයේ නිලධාරීන් හා පාසල් සිසුන් පමණක් එක්වූ මේ උත්සව අවස්ථාව මිනිත්තු 30ක් වැනි සුළු කාලයකට සීමාවූ අතර, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු හා වව්නියා දිස්ත්‍රික් ලේකම් පී.ඒ. සරත්චන්ද්‍ර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ක්‍රීඩා ඇමැතිනි, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ උපදෙස් පරිදි රුපියල් මිලියන 730ක් වැයකොට ඉදිකළ ක්‍රීඩා පහසුකම් 5ක් ජනතා අයිතයට පවරා දෙන වැඩපිළිවෙළ යටතේ ඕමන්තේ ක්‍රීඩා මධ්‍යස්ථානය හා පිහිනුම් තටාකය විවෘත කෙරිණි. විවෘත කිරීම්වලදී උත්සව පැවැත්වීම වෙනුවෙන් අනවශ්‍ය මුදල් හා රාජ්‍ය සම්පත් නාස්තිය වහා නැවැත්විය යුතු බව හරිනි අමරසූරිය මෙනවිය ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දුන්නාය.
මෙයට සමගාමීව රුපියල් මිලියන 175 බැගින් වැයකොට ප්‍රතිසංස්කරණය කරන ලද ටොරින්ටන් කෘත්‍රිම හොකී පිටිය හා මාතලේ කෘත්‍රිම හොකී පිටිය, රුපියල් මිලියන 100ක වියදමින් අලුතින් නිම කරන ලද බිංගිරිය ක්‍රීඩා සංකීර්ණයේ මීටර් 50 පිහිනුම් තටාකය, විවෘත කිරීම් පසුගියදා ඉතා චාම් ලෙස සිදු කෙරුණි.
පසුගිය මාස දෙකක කාලයකදී මේ සියලු ව්‍යාපෘති නිමකර තිබුණද, විවිධ හේතුමත විවෘත කිරීමට කටයුතු යොදා නොතිබිණි. මේ පිළිබඳ අවධානය යොමුකළ ක්‍රීඩා ඇමැතිවරිය නිලධාරීන්ට උපදෙස්දී ඇත්තේ රට පුරා සිටින පාසල් සිසු සිසුවියන්ට ප්‍රමුඛතාව ලැබෙන පරිදි කඩිනමින් විවෘත කිරීමට පියවර ගන්නා ලෙසයි.