පසුගිය ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ දියත් කළේ සියදිවි හානි කර ගැනීමේ මෙහෙයුමක් යැයි සමගි ජන බලවේගයේ සභාපති ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පවසයි.
මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ සභාපතිවරයා මෙසේ ද පැවසුවේය.
රනිල් උත්සාහ කළේ එයත් විනාශ වෙන ගමන් අපිවත් විනාශ කරන්නයි. ගම්පහ ආසන සංවිධායක ධුරයෙන් අජිත් මාන්නප්පෙරුම ඉවත් කළේ පසුගිය ජනපතිවරණයේදී එම ආසනයේ ප්‍රතිඵල අධ්‍යයනය කිරීමෙන් පසු දුර්වල බවට තහවුරු කර ගැනීමෙන් පසුවයි. එසේ වුවත් ඔහුට අසාධාරණයක් නොවන ලෙස මහමැතිවරණය සඳහා තරග කිරීමට අවස්ථාව ලබාදුන්නා. හැම පක්ෂයකම ගැටලු තිබෙනවා. විශේෂයෙන් නාමයෝජනා ලබාදෙන අවස්ථාවල මේ ගැටුම් ඉහළ යනවා. යම් කලකිරීමක් නිසා සමගි වනිතා බලමණ්ඩලයෙන් ඉවත් වූ හිරුණිකා අපිත් එක්ක වැඩ කරනවා.
අද රට වැටිලා තිබෙන ප්‍රපාතයෙන් ගොඩගන්න නම් අපි එකතු වෙලා වැඩ කරන්න ඕන. අපේ න්‍යාය පත්‍රය සමාජ ප්රජාතන්ත්රවාදී න්‍යාය පත්‍රයක්. අපි එජාපයෙන් කැඩිලා ආවේ පක්ෂයට උරුම ගමනින් බැහැර වී අන්ත දක්ෂිණාංශික ගමනක් ගිය නිසයි. අපි ගොඩනැඟුවේ ප්රගතිශීලි බලවේගයක්. කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් අපි කඩාගෙන ආවේ ප්රගතිශීලි ගමනක් යන්නයි. වත්මන් ජනාධිපති සමඟ එකට ගමනක් යන්න අපිට ගැටලුවක් බාධාවක් නැහැ. රට වෙනුවෙන් කළ යුතු යුතුකම් හා වගකීම් සම්බන්ධයෙන් අපි අවබෝධයෙන් කටයුතු කරන්නේ.