මට මගේ අතින් බත් කටක් කන්න බෑ. ඔළුව පීරාගන්න බෑ. නිදාගන්න බෑ. හුස්ම හිර වෙනවාÓ යැයි සෞදි අරාබියේ ගෘහ සේවයට ගොස් සිටියදී එහිදී රිය අනතුරකට ලක් වීමෙන් පසු ඔත්පළ වී පැමිණි ගෘහ සේවිකාවක් ඊයේ (18) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසුවාය.
ඇය බෙලිඅත්ත, ගැටමාන්න ප්රදේශයේ පදිංචි ලසන්තා සුදර්ශනී නමැති 44 හැවිරිදි තිදරු මවකි. ඇය ඊයේ (18) අලුයම ගුවනින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය. එහිදී ලසන්තා සුදර්ශනී මෙසේ පැවසුවාය. මම බෙලිඅත්ත, ගැටමාන්න පදිංචි වෙලා ඉන්නේ. මට ළමයි තුන් දෙනෙක් ඉන්නවා.
මහත්තයට කිසිම වැඩක් කර ගන්න බෑ, අසනීපයි. අපට ඉන්න හරිහැටි ගෙයක් දොරක් නැහැ. ඒ නිසා මම කරන්න දෙයක් නැතිම තැන සෞදි අරාබියේ ගෘහ සේවයට මරදාන ප්රදේශයේ රැකියා නියෝජිත ආයතනයකින් ගිය අගෝස්තු 17 වැනි දින පිටත්ව ගියා. මම එදින රාත්‍රී 6.30ට විතර රියාද් ගුවන් තොටුපොළ වෙත පැමිණියා. මාව ගන්න රාත්‍රී 10.30 වනතුරු එරට රැකියා ඒජන්සියෙන් ආවේ නැහැ. පසුව මාව ගෙනියන්න ටැක්සි රථයක් එවා තිබුණා. ඒ රැකියා නියෝජිත ආයතනය රියාද් ගුවන් තොටුපොළේ සිට කිලෝ මීටර් 1,100ක් දුරින් තිබෙන සතාකා නුවර.
අපි ගමන පිටත් වුණා. ගමන පිටත් වෙලා ටික වෙලාවකින් ටැක්සි රථයේ රියැදුරු ඔහුගේ ජංගම දුරකතනයෙන් කවුද සමඟ කතා කරන්න පටන් ගත්තා. ටික වෙලාවක් යන විට එය රණ්ඩුවක් බවට පත් වුණා. ටික වෙලාවයි ගියේ. අපි ගමන් ගත් මෝටර් රථය දරුණු රිය අනතුරකට ලක්වුණා. මීට දින දෙකකට පමණ පසුවයි එහේ රෝහලක දී සිහිය ආවේ. රෝහලට මේ පිළිබඳ විමර්ශන කටයුතු සඳහා පැමිණි පොලිස් නිලධාරින් මට කිව්වා වැඩ කරන්න බැරි නිසා ආපසු ලංකාවට යවන බව.
මම අඬලා, වැඳලා කිව්වා, මට ළමයි ඉන්නවා, මහත්තයා අසනීපයි, ඉන්න ගෙයක් දොරක් නැහැ, ඒ නිසා මට සල්ලි දෙන්න කියලා. පොලිසිය කිව්වා මගේ හාම්පුතුන්ගෙන් ඉල්ලලා දෙන්නම් කියලා. මට දැන් කිසිම වැඩක් තනියම කරගන්න බැහැ. අනතුර වෙලා දින 16කට පස්සෙ තමයි තුවාලයට බෙහෙත් ටිකක් දැම්මේ. මාස දෙකක් හිටියා මගේ මැහුම් කපන්න. මාව ලංකාවට ගෙන්වා ගන්න මරදාන රැකියා නියෝජිත ආයතනය රුපියල් ලක්ෂ 5ක් ඉල්ලුවා.
පසුව මට ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානයේ සභාපති ආචාර්ය සරත් ජයන්ත පීරිස් මහතා ඇතුළු ඔහුගේ නිලධාරින් පිරිස එක් වී මාව මේ විදිහට ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළා යැයි පැවසීය.