ඉදිරියේදී ආරම්භවීමට නියමිත ලංකා ප්‍රිමියර්ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමේ සිද්ධියකට සම්බන්ධ බවට ඇප මත මුදාහැර සිටින දඹුල්ල කණ්ඩායමේ හිමිකරු වන තමිම් රහමාන් නමැත්තාගේ විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙසට කරන ලද ඉල්ලීම ඉල්ලා අස්කරගන්නා බව ඔහුගේ නීතිඥවරයා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඉදිරියේදී ඊයේ (18) ප්‍රකාශ කළේය.
සිද්ධියට අදාළව විමර්ශන කටයුතු කිරීමට ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව අධිකරණය විසින් මෙම නියෝගය ලබාදෙන ලදී.
බ්‍රිතාන්‍ය පුරවැසිභාවයක් හිමි බංග්ලාදේශ ජාතිකයෙකු වන ඔහු දඹුල්ල කණ්ඩායමේ හිමිකරු මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද කටයුතු කරනු ලැබේ. මෙම සැකකරු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් විදෙස්ගතවීමට උත්සාහ කරන අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශය අධිකරණයට දැනුම් දුන්නේය.
ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත එල්පීඑල් ක්‍රිකට් තරගාවලියේ දී සිදු කිරීමට නියමිතව තිබූ මහා පරිමාණ තරග පාවාදීමේ සිද්ධියකට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවය.
පසුගිය අප්‍රේල් 22 වනදා අදාළ සැකකරුගේ නියෝජිතයින් දෙදෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඔවුන් කොළඹ හෝටලයකදී පැමිණිලිකාර ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශයේ නිලධාරීන් හමුවී සාකච්ඡාවක් පවත්වා තිබූ බවට ද එහිදී අධිකරණයට දැනුම් දෙන ලදි. සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයට පෙනී සිටියේය.