තේ කෝප්පයේ මිල වැඩි යැයි කී විට උරණ වී රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙකුට පහරදී බියගන්වා ඔහු සතු රාජකාරි හැඳුනුම්පත පැහැරගත් බව කියන මගී බස් රථ තේ පානය සඳහා නතර කරන කොත්මලේ හෝටලයක හිමිකරුවකු සහ සේවකයකු කොත්මලේ පොලිසිය පෙරේදා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් දෙදෙනා හෙල්බොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන තිස්වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පොලිස් කොස්තාපල්වරයකු වන මෙම රාජ්‍ය බුද්ධි සේවා නිලධාරියා පුහුණු වැඩමුළුවකට සහභාගි වීම සඳහා කොළඹ සිට නුවරඑළිය බෝමුරුඇල්ල පුහුණු මධ්‍යස්ථානය වෙත ඉකුත් දහතුන්වෙනිදා ගමන් කර ඇත්තේ මගී බස් රථයක නැඟීය. එම බස් රථය මගීන්ට තේ පානය සඳහා කොත්මලේ පිහිටි හෝටලයක් අසල නතර කර ඇත. එහිදී බස් රථයෙන් බැස ගත් මෙම පොලිස් කොස්තාපල්වරයා තේ පානය කිරීමට සූදානම් වී තිබේ. එහිදී ප්ලේන්ටියකට රුපියල් පනහක මුදලක් ලබාගෙන තිබේ. ප්ලේන්ටියේ මිල වැඩි බව පැවසීමත් සමඟ ඇතිවූ බහින්බස්වීමකින් අනතුරුව රාජ්‍ය බුද්ධි සේවයේ කොස්තාපල්වරයාට පහරදීම සිදුව ඇත. එම පහරදීම සම්බන්ධයෙන් එම නිලධාරියා නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක් කරමින් රෝහල්ගතවී තිබුණි. මෙහිදී හෝටල් හිමියාද තමාට කොස්තාපල්වරයා පහරදුන් බව සඳහන් කරමින් කොත්මලේ පොලිසියට පැමිණිල්ලක් කර රෝහල්ගතවී ඇත.
රාජ්‍ය බුද්ධි සේවා කොස්තාපල්වරයාට පහරදීම සම්බන්ධයෙන් කොත්මලේ පොලිසිය හෝටල් හිමියා ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රාජ්‍ය බුද්ධි සේවයේ කොස්තාපල්වරයාද කොත්මලේ පොලිසියට පැමිණ භාරවී ඇත. එහිදී ඔහුවද අත්අඩංගුවට ගෙන තිබේ.නිලධාරියා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.