නිකවැරටිය පොලිස් වසමේදී රිය අනතුරකට ලක්වූ පුද්ගලයාගේ මළ සිරුර පල්ලම පොලිස් වසමේ මහමඟ දමා පලාගිය ගිය බවට සැකකරන දෙදෙනෙකු මේ.මස 29 දක්වා රිමාන්ඩ් කරන ලෙස නිකවැරටිය මහේස්ත්රාත් චන්දන ලියනගේ මහතා නියෝග.කළේය.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ ගල්නෑව සහ අවිස්සාවේල්ල යන ප්රදේශවල පදිංචි, ලොරි රථයේ රියැදුරා සහ රිය සහායක යන දෙදෙනාය.
අනතුරට සම්බන්ධ බවට වූ සැකකාර ලොරි රථය ආඬිගම ප්රදේශයේ ගරාජයක දමා ගොස් තිබියදී සොයා ගත් බවත්, ඒ අනුව පරීක්ෂණ සිදු කර පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදු කළ බවත් ලොරි රථයේ රියැදුරා සහ රිය සහායක ගල්නෑව සහ අවිස්සාවේල්ල ප්රදේශවලදී මෙලෙස අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසීය.
පල්ලම පොලිස් වසමේ තේක්කවත්තක් අසල මාර්ගයක් අද්දර තිබියදී, නාඳුනන මළ සිරුරක් පල්ලම පොලිසිය සොයා ගනිද්දී, මරණකරුගේ බිරිය විසින් බෙහෙත් ගැනීමට රෝහලට ගිය තම ස්වාමියා ආපසු නොපැමිණි බවට නිකවැරටිය මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබූ බවද පොලිසිය සඳහන් කළේය.
ඒ අනුව පරීක්ෂණ අරඹා නිකවැරටිය දියගම ප්රදේශයේ ප්‍රධාන මාර්ගයේදී, අලුයම 5.30ට පමණ පාපැදියක යමින් සිටි පුද්ගලයකු කුකුළු ලොරියක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බවත්, පසුව අනතුරට ලක්වූ පුද්ගලයා ලොරි රථයේ පටවාගෙන ගිය බවටත්, පරීක්ෂණවලදී අනාවරණය වීමෙන් පසුව, ආඬිගම ප්රදේශයේදී සැකකාර ලොරි රථය සොයා ගත් වූ බවද, පොලිසිය සඳහන් කළේය.
මහමඟ දමා ගොස් තිබූ මළ සිරුර, මරණකරුගේ බිරිය සහ ඥාතීන් විසින් හඳුනාගෙන ඇති අතර, අනතුරින් මිය ගොස් සිටියේ, නිකවැරටිය පොලිස් වසමේ, දියගම ප්රදේශයේ පදිංචි හැටපස් වියැති දෙදරු පියකු බව ද පොලිසිය සඳහන් කළේය.
නිකවැරටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි වසන්ත ජයමිණ කුමාර මහතාගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරි ජයන්ත ගුණවර්ධන මහතාගේ අධීක්ෂණයෙන්, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුරංග දහනායක මහතාගේ මෙහෙයවීමෙන්, රථ වාහන අංශ නිලධාරීන් පිරිසක් විසින් පරීක්ෂණ සිදු කෙරිණි. නිකවැරටිය මූලස්ථාන පොලිසිය විසින් නඩුව පවරා තිබුණි.