හමාස් සංවිධානයේ නව නායකයා ලෙස කටයුතු කළ යහ්හා සින්වාර් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව දකුණු ගාසා තීරයේ සිදුකළ ජංගම සෝදිසි මෙහෙයුමකින් ඝාතනය කළ බව ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇතැයි ද, හමාස් සංවිධානය එම පුවත තහවුරු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය වසරේ ඔක්තෝබර් මස 7 වැනිදා හමාස් සංවිධානයේ ඊශ්‍රායල ආක්රමණයේ මහමොළකරු ලෙස හඳුන්වනු ලබන 61 හැවිරිදි සින්වාර් ඝාතනයට ලක්වීම අහඹු සිදුවීමක් බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
සන්නද්ධ අංශයේ නායකයා ලෙස කටයුතු කළ බව කියන යහ්යා සින්වාර් හමාස් සංවිධානයේ නව නායකයා ලෙස පත්වී ඇත්තේ එහි නායකයා ලෙස කටයුතු කළ දේශපාලන අංශයේ නායක ඉස්මායිල් හනියේ පසුගිය ජූලි මාසයේ ඉරානයේදී ඝාතනයට ලක්වීමෙන් පසුව බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
ඔක්තෝබර් ප්‍රහාරයෙන් පසු අතුරුදන් වූ යහ්යා සින්වාර් සොයා ඊශ්‍රායල හමුදාව වසරකට වැඩි කාලයක් පුරා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබූ අතර, ගාසා තීරයේ උමං මාර්ගවල සහ බංකර්වල සැඟවුණු ජීවිතයක් ගත කළ හමාස් නායකයා ආරක්ෂකයන් රැසක් පිරිවරා සිටි බව ද වාර්තා වේ.
මේ අතර ඔක්තෝබර් ප්‍රහාරයේ මහමොළකරු යහ්යා සින්වාර් ඝාතනය කිරීමෙන් ගාසා තීරයේ යුද්ධය අවසන් නොවන බවත්, උපායමාර්ගික සැලසුම්වලට අනුව ගාසා තීරයේ ආක්‍රමණය නව අදියරයකින් යුතුව සිදු කරන බවත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.