Home » ණය ගෙවන අභියෝගය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

ණය ගෙවන අභියෝගය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

by sachintha
October 18, 2024 12:42 am 0 comment

ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම් ඇරැඹිය යුතු 2028 වසර වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට පහළොවක් බවට පත්කර ගැනීමේ අභියෝගය නව රජය හමුවේ පවතින බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (17) පැවසීය. කොළඹ මල් පාරේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ එම ඉලක්කයට යෑම සඳහා සෑම වසරකම සියයට එකක ආර්ථික වර්ධනයක් ලබාගත යුතු බවයි.

ඒ සඳහා ඊළඟ පාර්ලිමේන්තුවට වගකීම්වලින් පැන යන්නේ නැති කණ්ඩායමක් අවශ්‍ය බව ද අවධාරණය කළේය.

රට ගොඩ ගන්නට තමා සමඟ වැඩ කළ කණ්ඩායමක් මහමැතිවරණයට ඉදිරිපත් වන බව කී හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය මූල්‍ය බලය හිමි පාර්ලිමේන්තුව ශක්තිමත් වීමට නම් එම පිරිස ජයග්‍රහණය කරවිය යුතු බව ද සඳහන් කළේය.

“මම ජනාධිපති ලෙස රට භාර ගත්තේ අපට ණය ගෙවන්නට බැරිව බංකොලොත්භාවය ප්‍රකාශ කළ අවස්ථාවේදීයි. මගේ මූලික අරමුණ වුණේ ඒ අවස්ථාවේදී යළිත් ණය තිරසර බව ඇති කර බංකොලොත්භාවය ඉවත් කර ගැනීමයි. ඒ සඳහා මා එම අවුරුදු දෙකේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, අපට ණය ලබා දී තිබූ රටවල් දහඅට සහ පෞද්ගලික බැඳුම්කරුවන් සමඟ සාකච්ඡා කොට ගිවිසුමකට එළඹුණා. ඒ අනුව අප ණය තිරසර බව ඇති කිරීම සම්බන්ධයෙනුත් අනතුරුව අප රට බංකොලොත්භාවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙනුත් එකඟතාවකට පැමිණියා. මේ සියලු ක්‍රමවේද අවසන් කොට පෞද්ගලික බැඳුම්කරුවන්ගේ අනුමැතිය ලැබුණේ මේ වසරේ සැප්තැම්බර් මාසයේ පළමු සතියේදීයි.

මෙලෙස අප ඇති කරගත් ක්‍රමවේදය නිසා අපට දැන් විදේශ බැංකු සමඟ ගනුදෙනු කරන්න පුළුවන්. එමෙන්ම විදේශ ආධාර ලැබෙනවා. අපගේ ණය තිරසර බව නිසා මේ වන විට බංකොලොත් බව අවසන් වී තිබෙනවා.

රට බංකොලොත් බවින් මුදා ගැනීමේ කාර්යභාරය සඳහා මා පසුගිය පාර්ලිමේන්තුව සමඟ වැඩ කටයුතු කළා. එම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සියලු දෙනාට මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. එමෙන්ම ඒ පාර්ලිමේන්තුව සමඟ වැඩකටයුතු කළ මගේ නිලධාරී මණ්ඩලයටත් ස්තුතිය ප්‍රකාශ කරනවා” යැයිද කීවේය.

නෙත්මි පූජනී රත්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT