Home » පාස්කු වාර්තා සඳුදා එළියට දානවා

පාස්කු වාර්තා සඳුදා එළියට දානවා

-නීතිඥ උදය ගම්මන්පිල

by sachintha
October 18, 2024 12:42 am 0 comment

පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ වාර්තා ප්‍රසිද්ධ කිරීමට ජනාධිපතිවරයාට දින හතක කාලයක් ලබා දුන් බවත් ලබන 21 වැනි සඳුදා වන විට දින හත සම්පූර්ණ වන බැවින් ජනාධිපතිවරයා ඒවා ප්‍රසිද්ධ නොකළොත් තමන් අනිවාර්යයෙන්ම එම වාර්තා ප්‍රසිද්ධ කරන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ‘දිනමිණට’ ඊයේ (17) පැවසුවේය. චැනල් 4 නාළිකාව ලංකාවේ බුද්ධි අංශවලට එල්ල කළ චෝදනාවල ඇත්ත නැත්ත සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව සහ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශවලින් හෝ පොලිසියෙන් යම් අතපසුවීමක් සිදු වුණා ද යන්න සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව තමන් ළඟ තිබෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

මේ වාර්තා දෙකම ජනාධිපතිවරයාට භාරදී ඇති බවත් මේ වාර්තා ප්‍රසිද්ධ කළ යුතු වන්නේ ජනාධිපතිවරයා බවත් කී ඒ මහතා ජනාධිපතිවරයා ඒවා ප්‍රසිද්ධ නොකරන නිසා තමන් දින හතක් ලබා දී ඒ කාලය තුළ ප්‍රසිද්ධ නොකළොත් තමන් ඒවා ප්‍රසිද්ධ කරන බවට ප්‍රකාශ කළ බවත් කීවේය.

මේ බව ඉකුත්දා (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ද ඒ මහතා පැවසූ අතර එහිදී කියා සිටියේ එළැඹෙන සඳුදාට කලින් පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාර වාර්තා එළිදැක්වූයේ නැතිනම් තමන් ඒවා ප්‍රසිද්ධ කරන බවයි.

මාලිමාවේ නායකයන් විපක්ෂයේ ඉන්න කාලේ පැවති ආණ්ඩුවට බල කළා මේ වාර්තා එළිකරන්න කියලා. බලය ලැබුණට පසුව ඒ වාර්තා ප්‍රසිද්ධ කරන්න පැකිළෙන්නේ ඇයි? මගේ ළඟ තියෙන වාර්තාවත් ආණ්ඩුවට භාර දුන්නාට පස්සේ ආණ්ඩුව ඒක ප්‍රසිද්ධ නොකර සිටියොත් අපි මොකද කරන්නේ? ආණ්ඩුව කියන්නේ මේ තොරතුරු සදහටම අබිරහසක් කරන්න ආණ්ඩුවට උදවු කරන්න කියලා ද? ඒ නිසා මේ වාර්තාව ප්‍රසිද්ධ කරන බවට ආණ්ඩුවෙන් ප්‍රතිඥාවක් ලබා දෙනතුරු මගේ ළඟ තිබෙන වාර්තා ආණ්ඩුවට භාර දෙන්න මම සූදානම් නෑ.

මේ වාර්තාව මා ළඟ තබා ගැනීම බරපතළ අපරාධයක් කියලා මාව බය කරන්න විජිත හේරත් ඇමැතිතුමාට බැහැ. ප්‍රසිද්ධ කිරීමට පොරොන්දු නොවෙනවා නම් මම මේවා භාර දෙන්නෙත් නැහැ. ආණ්ඩුව මේක ප්‍රසිද්ධ නොකළොත් දින 7කට පසු මම මේක අනිවාර්යයෙන්ම ප්‍රසිද්ධ කරනවා යැයි ද හෙතෙම මෙහිදී කියා සිටියේය.

රන්මලී සෝමසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT