Home » බටහිර ගීත ලෝකයේ ‘සිහින කුමරා’ ලියැම් පේන් හදිසි අනතුරකින් මිය යයි

බටහිර ගීත ලෝකයේ ‘සිහින කුමරා’ ලියැම් පේන් හදිසි අනතුරකින් මිය යයි

by sachintha
October 18, 2024 12:51 am 0 comment

 

ලොව පුරා තරුණ තරුණියන් අතර අතිශය ජනප්‍රියත්වයකට සහ ආදරයකට පාත්‍ර වු සුපිරි බටහිර ගායක ලියැම් පේන් හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 31 හැවිරිදි මේ ගී තරුව මිය ගොස් ඇත්තේ ආජෙන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවර හෝටලයක තුන්වැනි මහලේ සඳළුතලයෙන් බිමට වැටීමෙන් බවත්, ඔහුගේ මරණය ගැන පොලිස් විමර්ශන ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

වසර 2008දී එවකට 14 හැවිරිදි වියේදී ලෝක ප්‍රකට එක්ස් ෆැක්ටර් රියැලිටි ගායන වැඩසටහනින් ගීත ලොවට පිවිසි මේ ඉංග්‍රීසි ජාතික ගායකයා ඊට වසර දෙකකට පසු තවත් තරුණයන් සිව්දෙනකු සමඟ එක්ව බිහි කළ ‘වන් ඩිරෙක්ෂන්’ සංගීත කණ්ඩායම මෑත කාලයේ බටහිර පොප් ගීත ක්ෂේත්‍රය තුළ නොම්මර එකේ සංගීත කණ්ඩායම බවට පත්වී තිබිණි. ඔවුන් එක්ව නිර්මාණය කළ ‘What Makes You Beautiful‘, Live While We’re Young‘, Best Song Ever, Story of My Life‘ සහ Drag Me Down වැනි ගීත විදෙස් රටවල තරුණ තරුණියන් අතර පමණක් නොව ශ්‍රී ලංකාවේ බටහිර ගීතලෝලීන් අතරත් ලියැම් පේන් ‘සිහින කුමරකු’ බවට පත් කර තිබිණි.

පසුකාලීනව ‘වන් ඩිරෙක්ෂන්’ සංගීත කණ්ඩායම බිඳී යෑමෙන් පසු එහි සාමාජිකයන් වෙන් වෙන්ව සිය ගීත නිර්මාණ ඉදිරිපත් කළ අතර, ලියැම් පේන් ජීවිතක්ෂයට පත්වූයේ ‘වන් ඩිරෙක්ෂන්‘ සාමාජිකයකු වූ නියෝල් හෝරන්ගේ ගීත ප්‍රසංගයක් නැරැඹීමට අජෙන්ටිනාවට ගොස් සිටියදීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT