ගාලු පාර නම් දකුණුදිග ශ්‍රී ලංකාව හැඩ කළ සේලය තෙමාගෙන, පෙරේදා සන්ධ්‍යාවේ ඉන්දීය සයුර ගලා ආවේය. මේ වනාහි වඩදිය ප්‍රවාහයේ ස්වභාවයය. ඒ කාලයේ හතේ පන්තියේ සමාජ අධ්‍යයනය පොතේ වඩදිය සහ බාදිය පාඩම ඉගැන්නුවේය. අටේ පන්තියේ විද්‍යා පාඩමේදී, මේ ආකාරයේ සංසිද්ධි මුහුද සමඟ ඇතිවන්නේ කෙසේදැයි පැහැදිලි කර දුන්නේය. දැන් තාලය වෙනස්ය. අද වඩදිය සහ බාදිය යන කතාව නැත. දෙකටම ඇත්තේ උදම් රළ නම්, එක නාමයය.
හිරුගේ සහ සඳුගේ උදම් ශක්තිය හේතුවෙන් සාගර මත ඇතිවන ජල මට්ටම ඉහළ යාම හා පහත බැසීම, උදම් රළ බවට පත්වන්නේය. මෙය සමුද්‍රය සඳහා සීමා වූවක් නොවේ. කාලය හා අවකාශය සමඟ වෙනස් වන ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් සහිත ඕනෑම වස්තුවක් මත උදම් සංසිද්ධිය ඇතිවිය හැකිය. උදම් යන වචනය සංකල්ප දෙකක් හා බැඳී ඇත්තේය. එකක් උදානය හෙවත් ජයග්‍රාහී මානසිකත්වය සහිත වූ තත්ත්වයකි. අනෙක උද්ධච්ඡභාවයය.
මේ තීරුව අද සිය මාතෘකාව සඳහා ගනු ලබන්නේ, උද්ධච්ඡභාවය හේතුවෙන් සිදු කරන ක්‍රියාවක් පිළිබඳය. ඊයේ පුන් පෝය දා බැවින් උද්ධච්ඡය පිළිබඳ ධර්ම විග්‍රහයෙන් මේ පිළිබඳ ආරම්භය ලබා ගැනීමට රිසිය. යෝගාවචර චිත්ත පරම්පරාව අඛණ්ඩව අරමුණේ නොයෙදී, නානා රම්මණයන් කරා ගෙන යන ස්වභාවය උද්ධච්ඡ වන්නේය. රටේ වුවද තත්ත්වය මෙයය. පාස්කු දා ප්‍රහාරය ද එක් අරමුණක නොමැතිව, නානා දේශපාලන රම්මණ සඳහා යෙදුණේ බැවින් එය ද උද්ධච්ඡභාවයේ ගමන් කළේය. එයින් උදම් වූ අවස්ථාවාදී දනෝ, ලැබුණු හැම මොහොතකම මේ මාතෘකාව සිය වාසිය සඳහා භාවිතයට ගත්තෝය.
පාස්කු දා ප්‍රහාරය එල්ල වූයේ 2019 අප්‍රේල් 21දා ය. ක්‍රිස්තියානි පල්ලි තුනක් සහ වාණිජ අග නගරයේ හෝටල් තුනක් ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් සිදු විය. එය අවසන් වූයේ දෙමටගොඩ නිවාස සංකීර්ණයෙන්ය. එතැන් සිට මෙම ප්‍රහාරය දේශපාලන පාපන්දුවක් විය. ආණ්ඩු මාරුව සඳහා තෝතැන්නක් විය. එකිනෙකා බ්ලාස්ට් කර ගැනීම සඳහා සංග්‍රාම භූමියක් විය. ඔය ආකාරයට අඛණ්ඩව, පාස්කු දා ප්‍රහාරය දේශපාලන ඕනෑඑපාකම් සඳහා දෝලනය විය. කන්‍යාවෝ සතක් සමඟ ස්වර්ගයේදී සැතපීම සඳහා ගිය සහරාන් සිදු කළ හානිය ගණන් කළ හැක්කේය. අමිල වූ ජීවිත පන්සියයක් පමණ එයින් අහිමි විය. ඒ පිළිබඳ ගණන් තැබීමක් ද ඇත්තේය. භෞතික දේපළ සහ සදාකාලික අසරණ වූ ජනයා පිළිබඳ තක්සේරුවක් කළ හැක්කේය. ඒවා යළි ප්‍රතිසංස්කරණය කළ නොහැකි මතකයන් වුවද ඒ පිළිබඳ අපට තක්සේරුවක් තිබේ. එතැන් සිට මෙම ප්‍රහාරය, දේශපාලන වශයෙන් වර නැඟීම සඳහා යෑම හේතුවෙන්, දේශය සිදු කර ගත් පාඩුව කිසිදු විගණනයකට හසු කර ගත නොහැක්කේය.
උදය ගම්මන්පිල තෙමේ යළිත් අතට ගෙන ඇත්තේ මේ අන්දරයය. කොමිසන් බර ගණනක් යොදා කිසිවෙක් තෘප්ත කළ නොහැකි වූ මේ කාරණය යළිත් අතට ගත් වන අපට සිහිපත් වන්නේ බොම්බිලි කරවලය.
බොම්බායේ, ගුජරාටයේ සහ ගෝවාහි මුහුදේ රංචු ලෙස ජීවත් වෙන බොම්බිලි මත්ස්‍යයා, ඉස්සන්, කුඩා මසුන් ආහාරයට ගන්නේය. ශරීරයට වඩා විශාල හකු ඇත්තේ හෙයින් මේ සතා අප්‍රසන්න පෙනුමින් යුක්තය. අඳුරේදී මෙම මත්ස්‍ය ශරීරයෙන් ස්ථූරදීප්ත එළියක් විහිදෙන්නේය. අප්‍රසන්න පෙනුම සහ මෙම එළිය හේතුවෙන්, මුහුදු පතුලේ රාක්ෂයා යන නාමය බොම්බිලි මාළුවා වෙත ධීවරයෝ පටබැඳ ඇත්තාහ.
වැස්සට තෙමුණු මේස් සහ හම් සපත්තු, ගේ ඇතුළේ තිබුණ කල්හි ඇතිවෙන දැරිය නොහැකි දුඟද බොම්බිලි වේළා, කරවල කරගත් විට ඇති වන්නේය. මේ නිසා එම කරවල බොහෝ දෙනා ගෙදර පැත්ත පළාතට ගෙන එන්නේ නැත. එසේ වුවත් එහි රසය දන්නාගේ, ප්‍රියතම ආහාර ගොනුවේ බොම්බිලි කරවල බැදුම ඇත්තේය.
අපට අප්‍රිය වුවද පාස්කු දා ප්‍රහාරය සමහරුන්ට ප්‍රියජනක වී ඇත්තේ ඒ ආකාරයටය. යළිත් මේ කතාව සැණකෙළියක් බවට පත් කර ගැනීමේ අභිලාෂය වනුයේ, වින්දිත සමාජය සඳහා සුව සෙත උදා කරලීම නොවේ. ඔවුනගේ ප්‍රියයන් සඳහා සාධාරණය ඉටු කිරීම නොවේ; කුණු රස විඳීමය. එහි ඇති දේශපාලන වාසිය ඉහගෙන කෑමටය. මේ කල්ක්‍රියාවේ කාදිනල්තුමා යෙදෙන්නේ නම් එයට ද, වෙනත් දේශපාලන හස්තයක් යෙදෙන්නේ නම් එයට ද අපගේ විරෝධය එල්ල වන්නේ එහෙයිනි.
පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ඇති සියලු වාර්තා එක්තැන් කර, එක් වාර්තාවක් බවට පත් කළ යුතු බව ඇත්තය. සියලු ආකාරයේ විමර්ශන ද ඒ ආකාරයට එක් අවසානයක් කරා යා යුතුය. අනෙක මේ සම්බන්ධයෙන් ඇති නඩුකර සඳහා ද ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත්ව එක් ආකාරයේ මහ නඩුවක් බවට පත් කිරීමට කටයුතු කළ යුත්තේය. එතැන් සිට අවසානයේ, ආරම්භය ගත හැකිය. එවන් යන්ත්‍රණයක් සඳහා වූ සාකච්ඡා කාදිනල් උතුමාණන්ගේ සිට නෛතික බලඅධිකාරිය ද සමගාමී කර ගනිමින් සිදු කිරීම දැන් අත්‍යවශ්‍යය. වසර පහකට වැඩි කාලයක් තිස්සේ දිග ඇදෙන මෙම ප්‍රශ්නය සඳහා විසඳුම ඇත්තේ එතැනය. එයින් පිට යන සියල්ල වනාහි වවාගෙන කෑමේ අවශ්‍යතාව සරි කරන්නේය. අනෙක මෙය දේශපාලන ආස්ථානයක් කරා ගෙනයෑමය.
මේ එන්නේ මනාප සමය බැවින්, ඡන්දය බලාගෙන ඕනෑම වන්නමක් අල්ලන අයියලා වෙත පාස්කු දා ප්‍රහාරය, බොම්බිලි කරවල සේ රසවත්ය. මේ තීරුව දෙවියන්ගේ නාමයෙන් ඉල්ලා සිටිනුයේ, මේ ගඳ ගහන, හද පාරවන ප්‍රහාරය ඡන්ද මඩිස්සලේ බහා නොගන්නා ලෙසය.