කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයෙන් ආසියාවේ සියලු කාන්තා ක්‍රිකට් කණ්ඩායම් ඉවතට ගිය අතර, ආසියානු රටක පැවති තරගාවලියෙන් ආසියානු නොවන රටවල් හතරක් ඉදිරියට යෑම විශේෂත්වයකි. ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා පාකිස්තානය යන ආසියානු කණ්ඩායම් මූලික වටයේ ලීග් අදියරේදී පසුබැසීමකට ලක්වෙද්දී ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව හා බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් අද සිට අවසන් වටයේ තරගවලට එක්වෙයි.
ඒ අනුව මෙවර කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශූරියන්ට පිරිනැමෙන අමෙරිකානු ඩොලර් මිලියන 2.34ක තෑගි මල්ල වෙනුවෙන් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 69ක්) හා අනුශූරියන්ට හිමිවන ඩොලර් මිලියන 1.17ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 35ක්) මුදල් තෑග්ග කරා යන සටන ක්‍රියාත්මක කිරීමට සියල්ල සූදානම් වී ඇත.
එහි පළමු අවසන් පූර්ව තරගය අද ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර, දෙවැනි අවසන් පූර්ව තරගය හෙට නවසීලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම් අතර ඩුබායි හා සාජා ක්‍රීඩාංගණවලදී පැවැත්වේ.
2009 වසරේදී ආරම්භ කෙරුණු කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය තුළ මේ දක්වා ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවස්ථා 6කදී ශූරතාව දිනා ගැනීමට සමත්ව තිබේ. එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක් අවස්ථාවක බැගින් කාන්තා ලෝක ශූරියන් බවට පත් වූහ.
වසර 2016දී පැවති තරගාවලියෙන් පසු ආසියානු කණ්ඩායමක් අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලැබූ පළමු අවස්ථාවද මෙවර තරගාවලියේදී වාර්තා පොත් අතර ලියැවිණි. ඉන්දීය කාන්තා කණ්ඩායම දිගින් දිගටම අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තද, මෙවර ඔවුන් ද මූලික වටයෙන් විසිවී ගියේය.
මේ අනුව මෙවර මෙතෙක් වාර්තාවී ඇති දස්කම් අනුව පෙනී යන්නේ ආසියාවේ කාන්තා ක්‍රිකට් තවමත් ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව හා බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම්වලට පසු පසින් සිටින බවය.
අධික උණුසුමක් පවතින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය පැවැතියද, එම තත්ත්වයන්ට හුරු ඉන්දියාව ඇතුළු ආසියානු කණ්ඩායම් වඩාත් හුරුපුරුදු සහ මන්දගාමී තණතීරු මත ඔවුන්ගේ ශක්තිය පෙන්වනු වනු ඇතැයි තරගාවලියට පෙර විචාරක මතය විය.
එහෙත් මෙවර මූලික වටයේදී ආසියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල දස්කම් විමසා බැලුවහොත් ඔවුන් තරගාවලියේ ක්‍රීඩා කළ තරග 16න් ජයග්‍රහණය කොට ඇත්තේ තරග 4ක් පමණි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 25ක් වැනි සුළු දක්ෂතාවකි. බංග්ලාදේශය ලකුණු 16කින් ස්කොට්ලන්තය පරාජය කිරීම, පාකිස්තානය ලකුණු 31කින් ශ්‍රී ලංකාව පරාජය කිරීම, ඉන්දියාව කඩුලු 6කින් හා ලකුණු 82කින් පිළිවෙළින් පාකිස්තානය හා ශ්‍රී ලංකාව පරාජය කිරීම එම සීමිත ජයග්‍රහණ අතර වේ. අදට දින 82කට පෙර නිමාවූ ආසියානු කුසලාන විස්සයි20 ශූරියන් බවට පත්වූ ශ්‍රී ලංකාව තරග හතරම පරාජයට පත් විය. සියලු තරග පරාජයවූ අනෙක් කණ්ඩායම වන්නේ ස්කොට්ලන්තය පමණි.
කිසිදු ආසියානු කණ්ඩායමකට ලෝක කාන්තා ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ ඉහළින් සිටින ප්‍රතිවාදීන් පරාජය කිරීමට නොහැකි විය. මේ භේදය ආසියානු සහ ආසියානු නොවන ක්‍රීඩිකාවන් අතර ඇති වූයේ භෞතික ලක්ෂණ නිසාද? දක්ෂතාවයේ ගැටලුවක්ද? යන්න පැන නඟින ප්රශ්නයකි. එසේත් නැතිනම් දක්ෂතාවලින් හෙබි ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඇතුළු ආසියානු ක්‍රීඩිකාවන්ට ජය ගැනීමට අපහසු වූයේ මානසික ශක්තියේ ගැටලුවක්ද? යන්න ගැඹුරින් විමසා බැලිය යුතුය.