‘මව්බිම වෙනුවෙන් සරසවි මෙහෙයුම’ ව්‍යාපෘතිය යටතේ කැලණිය විශ්වවිද්‍යාලයේ රොට්රැක් සමාජය විසින් මෙම වසරේ ඔවුන්ගේ ව්‍යාපෘතියක් ලෙස ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කොක්මඩුව සහ තම්මැන්නාව ගම්මාන දෙක තෝරාගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමක් ඉකුත් 15 වැනිදා කැලණිය විශ්වවිද්‍යාල කළමනාකරණ පීඨයේදී පවත්වන ලදි.
එහිදී රොට්රැක් සමාජය විසින් කරනු ලබන සමාජ මෙහෙවර පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකළ එහි සභාපති විහඟ දිව්යාංජන මහතා, මහජන බදු මුදලින් උගත් විශ්වවිද්‍යාල සිසුන් ලෙස රටට සමාජයට ඔවුන්ගෙන් ඉටුවිය යුතු වගකීම ඉටු කිරීමේ උදාර අරමුණින් මෙම කර්තව්‍යය ආරම්භ කළ බව පැවසීය. ඉකුත් 2010 වසරේ ආරම්භ කළ රොට්රැක් සමාජය මේ වනවිට විශ්වවිද්‍යාල සාමාජික සාමාජිකාවන් 650දෙනකුගෙන් සමන්විත වන අතර, ඔවුන් කණ්ඩායම් හැඟීමෙන් යුතුව නිහඬ සමාජ මෙහෙවරක යෙදෙන බව ද ඔහු කීය. විශේෂයෙන් අඩු පහසුකම් යටතේ ලංකාවේ දුෂ්කර ගම්මානවල ජීවත්වෙමින් අධ්‍යාපනය නමැති කඩඉම ජය ගැනීමට වෙහෙසෙන දරුවන්ට, රොට්රැක් සමාජයට හැකි පමණින් උපකාර කිරීම එකම අරමුණ යැයි සභාපතිවරයා සඳහන් කළේය. ලංකාවේ දුෂ්කර ගම්මාන පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා ඒ අතරින් තෝරාගත් තම්මැන්නාව සහ කොක්මඩුව ගම්මාන දෙක මෙවර ව්‍යාපෘතිය සඳහා තෝරා ගත්තේ ගිරිබාව වසමේ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ලද නිවැරදි උපදෙස් මත බවත්, රොට්රැක් සමාජය වසරකට මෙවැනි ව්‍යාපෘති 50ක් පමණ සිදුකරන අතර මෙම ව්‍යපෘති තුළින් ආත්ම තෘප්තියක් මිස සිසුන්ට ලැබෙන වෙනත් කිසිම වාසියක් නැති බවත්, අංශ ගණනාවක් යටතේ මෙම ගම්මාන දෙක දියුණු කළ හැකි බවත් ඔහු කීවේය. එමෙන්ම විශ්වවිද්‍යාල සිසුන් වශයෙන් ඔවුන් තම වගකීම ඉටුකරන බවත්, විශ්වවිද්‍යාල සිසු සිසුවියන් ඔවුන් මුහුණ දෙන ගැටලු හමුවේ වීදි බසින නමුත් ඉන් ඔබ්බට යමින් සමාජ සේවයට ද නැඹුරුවන බවත්, අධ්‍යයන කටයුත්තකට අදාළ දෙයක් නොවන බැවින් රොට්රැක් සාමාජිකයන්ට මේ සඳහා ලොකු වියදමක් දැරීමට සිදුවන බැවින් ඒ සඳහා කැමැත්තක් දක්වන අයගේ සහයෝගය බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.