මහමැතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන්ගේ මනාප අංක මේ වනවිටත් නිකුත් කර ඇති බවත්, මැතිවරණයට අදාළ නීති හා රෙගුලාසි සම්බන්ධයෙන් අපේක්ෂකයන් දැනුම්වත් කිරීමට කටයුතු කළ බවත් අනුරාධපුර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි රංජිත් විමලසූරිය මහතා ඊයේ (16) පැවසීය.
මෙවර මහමැතිවරණය සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා පත්‍ර 27ක් භාරගෙන ඇති බවත් ඉන් පිළිගත් දේශපාලන පක්ෂ 18ක් හා ස්වාධීන කණ්ඩායම් 9ක් නාමයෝජනා ඉදිරිපත් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් හා තේරීම්භාර නිලධාරී කේ.ජී.ආර්. විමලසූරිය මහතා පැවසීය.
එම නියෝජිතයින්ට අදාළ සියලුම මනාප අංක මේ වනවිටත් නිකුත් කර ඇති අතර ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයට අදාළ නීති හා රෙගුලාසි සම්බන්ධයෙන් ප්රචාරක කටයුතු හා කාර්යාල පිහිටුවීම, නියෝජිතයින් පත්කිරීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා එම නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ඡාවක් ද පැවති බවත් මේ සඳහා පොලිස් දෙපාර්තමේන්තුව, සහකාර මැතිවරණ කොමසාරිස්, මැතිවරණ ආරවුල් නිරවුල් නිරාකරණ මධ්‍යස්ථානය, සහකාර තේරීම්භාර නිලධාරිවරයා, නගර සභාව ඇතුළු ආයතනවල නිලධාරීන් මේ සඳහා සහභාගී වූ බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයා පවසයි.
නාමයෝජනා භාරදීමේ ක්‍රියාවලිය හා මැතිවරණ ප්රචාරක කටයුතු මේ දක්වා ඉතා සාමකාමීව නීතිගරුක ආකාරයට දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වෙමින් පවතින බව ද පවසන ඒ මහතා තවදුරටත් කියා සිටියේ මැතිවරණය අවසාන වන තෙක් හා ඉන්පසුවත් විනය හා නීතිගරුකභාවය ආරක්ෂා කර ගනිමින් දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු නිදහස් හා ස්වාධීනව සාමකාමී තත්ත්වයෙන් පවත්වාගෙන යාමට හැකියාව පවතින බවට විශ්වාසය පළ කරන බවය.
ජනාධිපතිවරණයේදී අනුරාධපුරයට පැමිණි බංග්ලාදේශය ඇතුළු රටවල් තුනක මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් නියෝජිතයන්, එම ජනාධිපතිවරණ මැතිවරණයට පෙර සහ පසු අනුරාධපුරයේ මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා සිදු නොවීම සම්බන්ධයෙන් තම ප්‍රසාදය පළ කළ බවත් මෙවර මහමැතිවරණයේදී, ඒ ආකාරයෙන් බුද්ධිමත්ව කටයුතු කරන ලෙසද දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයා මෙහිදී අපේක්ෂකයන්ගෙන් සහ ආධාරකරුවන්ගෙන් ඉල්ලීමක් කළේය.