අඩවන් කවුළුවෙන් ගෙයට ගොඩවුණ මඳ පවන මනස ඩැහැ ගන්නා සුවඳින් නැහැවිලා ය. ඒ සුවඳ අහස් කුප්පිය පෙරළීමෙන් මිහිලිය තෙත්ව නැඟෙන සුවඳ ය. එම සුවඳ අල්මාරියේ උසම කොටසෙහි සිහිවටනයක් සේ තබන ලද බිලිඳු ඇඳුම් අතර කපුරු බෝල සඟවමින් සිටි ඇයගේ හිසෙහි මල් පොකුරක් පැලඳු වා සේ හැඟීමක් දැනවූවා ය. රූපවාහිනිය අසල වූ දුරකතනය දෙස ඇය වරක් නෙත හෙළීය. එම බැල්ම සෙනෙහසින් පිරුණකි.
රූපවාහිනිය පාළුව මකන මෙවලමක් සේ මෙයට බොහෝ කලකට පෙර සිතුණ ද දැන් එවැනි හැඟුමක් ඒ කෙරෙහි නොමැත. නිතර නිතර පුවත් බැලීමට ඇය ආස කළේ රට හදන තතු දැන ගැනීමට නොවේ. Òහෙට රට සුර පුරක් වේ… හෙට රට සුර පුරක් වේ…! පුවත් මැවුණ ද ඇය දන්නා කලක පටන් රට එලෙසමය. අගනුවර වග විස්තර ඇයගේ හිත යම්තාක් දුරට හෝ හිත කලබලෙන් මුදාලී ය. ඒවා ද සුරංගනා කතා ලෙස සැලකීමට ඇයට හැඟුණ වාර අපමණ ය. කාලගුණ වාර්තාවක හෝ උණුසුම් පුවතක හෝ ඇගේ හිත නිවන නිමිත්තක් කියවේ දැ’යි ඈ නිතර සැලකිලිමත් වූවා ය. ගෙට ගොඩවුණ සුවඳ දිගේ සතුටු සිතින් ගෙමිදුලට පැමිණි ඇය බලාපොරොත්තු සහිතව දෙවියන් යැදීය.
Òඉරටු කූරු
වැහි පොද හෙළූ
කර උක් දඬු
දෙනු දෙවියෝÓ
ඇගේ හිත බියෙන් වෙළී ගියා ය. දෙවියන්ගේ තිළිණයකැ’යි සිතූ සිහින් පොද වැස්සට එදිරි වීම දේව උදහස ලැබීමට කරුණක් යැයි ඇයට හැඟුණි. Ò දෙවියන් නො දන්නවැ මා ගැනÓ ඇයට ම පවසමින් පුංචි සන්ධියේ මහ ගෙදර අයිනක සෑදූ සෙල්ලම් පැලට සිතුවිලි මාවතේ සිත් පයින් ඇවිද ගියා ය.
ලාඩප්පා ලීයෙන් සැකසූ පැල මහ ගෙදර අවට තිබෙන කොළ අතු ආදියෙන් සෙවිලි කර ගත්තකි. සම වයසේ යහළු යෙහෙළියන්ගේ නායිකාව ඇයයි. පැලේ අම්මා ද ඇයම වීය. තාත්තට හැමදාම තෝර ගත්තේ ජනක ය. කෝම්පිට්ටු ඉදෙන ඇතැම් හැන්දෑවල සිහින් පොද වැටුණ ම සියල්ලෝම සතුටු වූහ. සෙල්ලම් පැලෙන් එළියට ඇවිත් උඩ පැන්නහ. නැටූහ. Òඅව්වයි වැස්සයි නරියගේ මඟුලයිÓ පද අමුණා උස් හඬින් ගැයූහ. අදටත් ඇය එම පදයන්හි අරුත් නො දනී. මුවින් මුව පැමිණි ජන ගීයක් යැයි සිතා ගත්තා ය. ජන ගීයක් කාටමුත් රසැ’තිව ගැයීමට හැකියාව ඇත. එහෙත් සැබෑ අරුත් තේරුම් ගත හැකි වන්නේ කීයෙන් කී දෙනෙකුටදැÓයි ඇයට සිතුණි. විටෙක ඇයට ඇගේ හිත ද ජන ගීයක් සේ දැනුණි. එය රසැ’තිව ගැයීමට හැකියාව ඇතත් කිසිවෙකුට තේරුම් ගැනීමට අපහසු දෙයකැ’යි ඇයට හැඟුණි.
Òඅපරාදේ…! නරියගේ මඟුලÓ ගැන අත්තම්මගෙන් දැනගත්ත නම්….? ඇය සුසුමක් හෙළී ය. අත්තම්මා හැන්දෑවරුව ගත කළේ කවි පොත් බණ පොත් වට කර ගෙන ය. ඇය නොදත් වචනයක් ඇය නොදත් කතාවක් නොමැති තරම් ය. රැයේ නින්දට යෑමට පෙර අත්තම්මා ළඟට ඇවිත් දොඩමලු වන අයුරු ඇයට සිහි වූවා ය.
Òදුවේ… මල්කාන්ති ! අදත් තාත්තා ජනක ද..?Ó
Òඔව්… අත්තම්මේ….!Ó සිහින් සිනාවකින් මුව සැරසිණ.
Òඇයි ඔබ, ඌට ඔය හැටි මනාපÓ
Òමම විතරක් යැ, අත්තම්මත් මනාපනේ. ඒකනේ ජම්බෝල ගෙඩිය වගේ කියලා ජනකගේ කම්මුල මිරිකන්නේ…. ඉතිං, මාත් මනාපයිÓ
Òහරි… හරි… ජනක කියන්නේ තාත්තට තමයිÓ
අත්තම්මා ඇසෙන නෑසෙන අයුරින් මිමිණීය. සමහර විට පුංචි හිත්වල පැළව දිනෙක මහා වෘක්ෂයක් සේ පැතිරෙන හැඟුම් බිජු විස්තර කිරීමට ඇය අසමත් වූවා වන්නට ඇත. සමහර විට ඇය උවමනාවෙන් මඟ හැරියා වන්නට ඇත. එසේ සිතුණේ දිනක් අත්තම්මට දුන් පිළිතුරු වදන් හමුවේ ඇය නිරුත්තර වූ නිසාවෙනි.
Òඅත්තම්මේ ..! මං නම් සුර දූතයන්ට පුංචි කුමරාව ගෙනයන්න දෙන්නෑ.Ó
Òඒ මොක ද…?Ó
Òඑතකොට පුංචි කුමරාගේ අම්මා පපුව පැළිලම මැරෙයිනේ..? දුකටÓ
Òසුරංගනා ලොවේ හැම සැපතක් තියෙනව, පුංචි කුමරත් සතුටින් එතකොට Ó
Òඅත්තම්මා..! හිතනව ද පුංචි කුමරා සතුටින් ඉඳිවී කියලා… අම්මා ළඟ නැතිවÓ
Òපැහිච්ච කෙලී…!Ó
අත්තම්මගේ මතක සිතින් තුරුලු කරගත් මල්කාන්ති පියවර මැන ගොස් දොරකඩ අඹ අත්තක ගැට ගැසුව ඔංචිල්ලාවෙන් අසුන් ගත්තා ය. පය බිම ගැටී නො ගැටී මඳ පවනට නැළවෙන නා දලුවක් සේ නැළවෙමින් ඉස්තෝප්පූවේ උස් තැනෙක තැබූ වීදුරු ටැංකිය දෙස නෙත් හැර වූවා ය. දිය බුබුළු නඟන හඬ නෑසුණ ද එය සුන්දර රටාවකැ’යි ඇයට සිතුණි. නිසසල දිය කැඩපතක් වුව ද සසල දියෙක තිබෙන හැඩය විඳීම ජීවිත යැයි ඇය තිර කළා ය. සසල දියක නිසලව සිටින සංඛය ඇය ජීවත් කරවන හැඟුම බව කියා පෑය. ඒ මේ අත පිහිනන මසුන් වීදුරු බිත්ති කඩා බිඳ නිදහස සොයා යෑමට තැත් කරනව ද…? එසේ කළහොත් උන්ගේ ප්‍රාණය සුරක්ෂිත වේද..? එකිනෙකට සිතුවිලි ඇය ගැළපුවා ය.
Òවරුෂාවේ සරු පාටක් නෑ..! පඬුරක් ගැට ගැහුව නම්…Ó
Òකපුවන්ට කාසි ගණින්න දෙවියන් වැහි පොම්ප කරනවැ’යිÓ සිත සනසවන අටියෙන් ඇය ඈ සමඟ ම දොඩමලු වීය. එහෙත් ඇය නොගිය දේවාලයක් නො වැන්ද දේවාලයක් නොමැති තරම් ය. කපු මහතුන් අත සැරි සැරුව පූජා වට්ටි Òඅහෝ..! නාස්තික යි.Ó හිතන්නටවත් ඈ නොසිතුවා ය.
Òකාන්ති ! වාසනාව තියෙද්දිත් ඇයි නිහඬ..?Ó
මල්කාන්ති, කාන්ති වූයේ මහ ගෙදරින් ආව දා පටන් ය. කාන්තියෙන් මිසෙක මල් විකසිත නොවන්නේ ය. එය හිරු කාන්තිය හෝ සඳ කාන්තිය හෝ විය හැකි ය. මල්කාන්තිගෙන් හිරු සඳු භේදයකින් තොරව කාන්තිය විහිදිණ. නමුත් ඇය ප්‍රිය මල්කාන්ති යන නාමට ය. ගමේ වැඩිහිටියන් කුඩා ළමුන්ට කොලොප්පමට පැවැසුවේ Òපූසාරිගේ කොල්ලා හෝ පූසාරිගේ කෙල්ලÓ කියායි. එහෙත් මල්කාන්තිට පමණක් Òඑංගලන්තේ මහ රැජිණ යිÓ කීය. ළපටි වෙස් ගිලිහි යද්දී නාඳුනන රජ දහන්වල කිරුළු පලඳින්නට හැමෝට ම සිදු වෙයි. ඇය මව් කිරුළ දැරූ දා පටන් කාන්ති යන නාමයට බෙහෙවින් ඇලුම් කළාය.
පුතෙකු බිහි කර සොළොස් වසක් තරම් දිගු කලක් ඇයට කුස සුරතින් පිරිමැද මැද බලා හිඳින්නට සිදු විය. තැනින් තැන ඇහුණ කතා සවනට ලෝදිය පුරවන්නාක් මෙනි. කලක්, තැනක් නොමැතිව වරදේ බැඳෙන තැනැත්තියන් ලෙස කාම ගිලනුන් ගැහැනුන්ව දැක තිබුණට එකම තුරුලක නැළවෙන්නට පෙරුම් පුරන ගැහුනු හිත් කවරෙකු නම් තේරුම් ගන්න දැ’යි ඇයට හිතුණ වාර අපමණ ය. සැප හොයන ගෑනු අස්සේ පෙම අස්සේ මැරෙන ගෑනූ ගණින්නට ඉලක්කම් සාස්තරෙත් මදි බව දැන ගත් දවසක අයාලේ දිවෙන පිරිමි කකුල් හිරවෙන බව ඈ විශ්වාස කළා ය.
Òවාසනාව තිබ්බට වරම් නෑ….!Ó
Òවරම් ගන්න යං දෙවියන් වඳින්න.Ó මිතුරිය දැඩි විශ්වාසයෙන් පැවැසී ය. කතරගම තොටිල්ලක බාරය සුදු ඇත් පැටවෙකු හීනෙන් කුසට ඒමට හේතුව යැයි ඇය නිතර නිතර පවසන්නී ය. එහෙත් කපු මහතාගේ වචන තවම සිත් තවයි. එය සැබෑවක් සේ ද ඇයට දැනෙයි. Òනෝනා..! තනි අතකින් අත්පුඩි ගහන්නට බැහැ, කෝ මහත්තයා තොටිල්ල පද්දන්නÓ සිත දිරිමත් කර ඇය තනිවම බාරය ඔප්පු කළාය.
Òදෙවියන්ට පිස්සු ද…? ඔබේ ගැබ පිරි මදින්නÓ
Òකවුද දන්නේ? කාන්තිව, වල්ලිඅම්ම වගේ පෙනුණා ද කියලා….Ó
මිතුරු සරදම් වෙදදුරු සරු පෙත්තක බලාපොරොත්තු රැඳ විය. මිථ්‍යාව ද විද්‍යාව ද සත්‍යය කියලා සොයනවට වඩා Òසියල්ල මනස්ගාතයන්’ ය. හිතා, හිත සැනහෙන තැනෙක සිතුවිලි නතර කිරීම සැපයකැ’යි ඇය සිතමින් නව මසක් ගිය තැන ගෙල පැලඳූ රන් සුරය බුදු කුටිය අසලින් සුරැකීව තැබීය.
Òජම්බෝලේ වගේ මූණ….Ó
Òනෑ ! නෑ ! කාන්තිගේ ඇස්Ó
නෑ මිතුරන් වට ව නහය, තොල, කන දෙදෙනාට බෙදද්දී ඇගේ සිනහව බෝපතක රන් පැහැය සේ විහිදුණි. සුදු පිරුවටයක නිකලැල් හොයන අන්ධයින්ට හිත් පිරුවටය දකින්න නො ලැබීම පුදුමයක් නොවේ. කොවුල් නාද අසමින් දෙතුන් දිනකට පෙර ඔංචිල්ලා ව පරිස්සමට පැද්දුව අයුරු ඇයට සිහි විය.
Òඉලන්දාරියෙකුට මොන ඔංචිල්ලා ද..?Ó
කාන්ති පැවැසුවේ සරදමට නොවේ. දිනෙන් දින වැඩෙන එකොළොස් වයසැ’ති තම පුතුන් පිළිබඳව ආඩම්බරයෙනි. මවකගේ ආඩම්බරය දරුවන්ගේ සිනාවකම රැඳෙන්නේ ය. මව් ගුණය රහට ගැයීමට හැකියාව ඇතත් මව් හිතෙක සෙනෙහස් සිතුවිලි වටහා ගැනීමට සමත් ජගතෙකු ලොව නොමැත්තේ ය.
Òඅම්මට..! මං ගියාම පාළු නැද්ද …?Ó
ඇය ගොළු විය. ඔංචිල්ලාව තදින් අල්ලා ගත් ඇය තම තුරුල වෙත එය ඇද හෙමින් ඉදරියට තල්ලු කළා ය. අහස අල්ලන්න සේ සෙමින් ඉහළට ඇදෙන පුතු දෙස දැක ඇය සතුටු මුතු කැට නෙත් කොපුවේම රඳවා ගත්තී ය. ගමේ ඉස්කෝලයෙන් අගනුවර ඉස්කෝලයක ඉගෙනුමට පුතු වරම් ගත්තේ ළමා කාලය ද කැප කිරීමෙනි. අගනුවර ඉස්කෝලයකට පුතුව ඇතුළත් කරන බව පවසද්දී අසුබ කතා කන වැකුණ වාර අපමණ ය. ළෙන්ගතුම වචන කුහක සිතුවිලි සඟවන බව ඇයට නොදැනුණත් Òමගේ පුතා එහෙම වෙන්නෑÓ පැවැසුවේ වැඩිමහල් පුතුගේ හැසිරීම් මනසෙහි සැරිසරන බැවිණි. එයටත් වඩා පොඩි පුතු ආශීර්වාද පූජාවට ගිය කල්හි හත් දිනක් බෝධීන් වහන්සේ නැහැවූ පැන් කලය ද බලකිරීමකින් තොරව උන්වහන්සේට පූජා කළ අයුරු සිහිවන විට ඇගේ විශ්වාසය තහවුරු කළා ය.Óමගේ එකා හොඳ එකාÓ ඇය හිතුවා ය.
Òආයෙත් අම්මා, මාව බලන්න එන්නේ පන්ති රැස්වීමට නේ…..?Ó
ඇගේ පපුව සිය දහසක් හී සරින් සිඳුරු වන්නා සේ දැනුණි. සිහින් පොද, කඳුළු සඟවද්දී ඇය තවත් පාසල් වාරයක නිමාවට දින ගැන්නා ය. කල්පයක් සේ දැනුණ එම දින අතර මැද විරාමයක් දෙන්නට සැඩ වරුෂාවකට පුළුවන් බව ඇය දනී.
ඇතෙක් බරට තුටු පඬුරු දෙව්ලට දෙන්නම්
අමා රසට වන පලතුරු ඔබට පුදන්නම්
වෙසක් මසට මගෙ පුන් සඳ තුරුලට ගන්නම්
ඉතිං, වැස්ස නුඹ වැහැපං, දෙවිඳු රකින්නම්
අත්තම්ගේ හුරුවට යාතිකා පද ගෙතෙද්දී නිෙවස තුළ තිබූ දුරකතනය නාද විය. ඇය නො ඉවසිල්ලෙන් බලා හිටිය ඇමතුම එය වේ.
Òඅම්මේ ! මං පරිස්සමට බෝඩිමට ආවාÓ
Òඅනේ, අම්මේ….! දවස් දෙක තුනකටවත් ඇවිල්ල යන්නකෝ…..!!Ó
තැන්නහේනේ නාගිත හිමි