බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූ චන්දික හතුරුසිංහගේ වැඩ අත්හිටුවීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබේ.
ඔහුගේ සේවය පැය 48කට අත්හිටුවා ඇති බවත්, ඉන් අනතුරුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු සේවයෙන් පහ කිරීමටත් නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පසුගිය වසරේ පෙබරවාරි මස දෙවැනි වරටත් හතුරුසිංහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වූ අතර, පසුගිය වසරේ පැවති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයකු සමඟ ඇතිවූ සිදුවීමක් මත එල්ලවූ චෝදනා මත මේ තීරණය ගෙන ඇති බවත් වාර්තා වේ.
ඒ අනුව ලබන වසරේ චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් බංග්ලාදේශ කණ්ඩායමේ වැඩ බලන පුහුණුකරු ලෙස හිටපු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ෆිල් සිමන්ස් පත් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.
බංග්ලාදේශ පිලට හතුරුසිංහ යටතේ එක්දින ලෝක කුසලාන තරගාවලිය සහ මේ වසරේ පැවති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ දී සාර්ථක දස්කම් පෙන්වීමට නොහැකි වූ අතර, පසුගිය අගෝස්තු මාසයේ පැවති පාකිස්තාන සංචාරයේදී පමණක් පාකිස්තානයට එරෙහිව 2-0කින් ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට සමත් විය. එය පාකිස්තානයේදී බංග්ලාදේශය වාර්තා කළ මංගල ටෙස්ට් ජය මෙන්ම වසර 15කට පසු විදෙස් ටෙස්ට් තරගාවලියක් ජය ගැනීම සටහන් විය. කෙසේ වෙතත් අනතුරුව පැවති ඉන්දීය සංචාරයේදී ටෙස්ට් තරගාවලිය 2-0කින් සහ විස්සයි20 තරගාවලිය 3-0ක් ලෙස පරාජය වීමට බංග්ලාදේශයට සිදු විය