විදේශගත කිරීමට මහ බැංකුව ඇතුළු බැංකුවලින් ණය ලබාදීමට අවශ්‍ය පසුකම් ලබාදීම ආදී පොරොන්දු ලබා දෙමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටා මුදල් වංචා සිදු කළ හා දුටු තැන ඇල්ලීමේ වරෙන්තු නිකුත් කර තිබූ නීතිඥයකු ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා ඊයේ (15) දින නියෝග කළේය.
මීගමුව මහා වීදියේ පදිංචිකරුවෙකු වන 40 වියැති බුද්ධික වංශරත්න නමැති මෙම නීතිඥයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ මීගමුව කොට්ඨාස වංචා විමර්ශන අංශයේ නිලධාරීන්ය. මීගමුව කොට්ඨාස වංචා විමර්ශන අංශයට ලැබුණු පැමිණිලි සහ අධිකරණවලින් නිකුත් කර තිබූ වරෙන්තු සඳහා අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි මෙම නීතිඥයා කාලයක් තිස්සේ සිට ඇත්තේ පොලිසියට කට්ටි පනිමිනි. සැකකරු මීගමුවට පැමිණ සිටින බවට ලද තොරතුරකට අනුව කොට්ඨාස වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. එච්. ආර්. මුණසිංහ මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
පොලිසිය භාරයට ගත් සැකකරු පැමිණි මෝටර් රථයේ විදේශ ගමන් බලපත්‍ර හයක් තිබූ බවත් වාහනය සහ විදෙස් ගමන් බලපත්‍ර පිළිබඳව තවදුරටත් විමර්ශන කරන බවත් පොලිසිය පවසයි.
මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. එච්. ආර්. මුණසිංහ, උපපොලිස් පරීක්ෂක විජයරත්න පොලිස් සැරයන් රුවන් (34485), වීරක්කොඩි (33536), කාන්තා පොලිස් සැරයන් (1840) සමන්ලතා, කාන්තා පොලිස් කොස්තාපල් නවෝමි (11408) යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.
මෙම පුද්ගලයාගේ වංචාවලට හසුවී ඇත්නම් 031 2227210 දුරකතනය ඔස්සේ කොට්ඨාස වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපති වෙත තොරතුරු ලබාදිය හැකිය.
කටාන – බර්ටි වීරසිංහ