පාණදුර ගල්ගොඩ විහාරය ආසන්න නිවෙසක පිරිමි පුද්ගලයකු සහ කාන්තාවක ගේ මළසිරුරු දෙකක් ඊයේ (15) අලුයම හමුවූ බව පානදුර දකුණ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පාණදුර, ශ්‍රී මහා විහාර පාරේ පදිංචිව සිටී 42 හැවිරිදි ශාම් ලසාදරී ගලගෙදර නමැති කතක සහ පානදුර කිරිබේරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි සමන් කුමාර නමැති විවාහකයෙකු බවත් ඔවුන් දෙදෙනාටම වැඩිමහල් දරුවන් සිටින බවත් පොලිසිය පවසයි.
කාන්තාවගේ මළසිරුර සාලයේ සිට මුළුතැන්ගෙයට ඇතුළුවන ස්ථානයේ බිම මුනින් අතට වැටී තිබූ බවත්, පිරිමි පුද්ගලයාගේ මළසිරුර මුළුතැන්ගෙයි බාල්කයක තංගුස් ලණුවකින් එල්ලෙමින් තිබූ බවත් පොලිසිය පවසයි.
දෙදෙනා කලක පටන් අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවට සිදු කළ මූලික පරීක්ෂණවලදී හෙළිව ඇති බව පොලිසිය සඳහන් කරයි.
පිරිමි පුද්ගලයා පෙරදින රාත්‍රී කොළ පැහැති ත්‍රිරෝද රථයකින් පැමිණ ඇය පදිංචි නිවෙස ආසන්නයේ විහාරස්ථානය ඉදිරිපිට ගාල්කර තිබී සොයාගත් බවද පොලිසිය පැවසීය.
මියගොස් ඇති පුද්ගලයා විසින් කාන්තාව ඝාතනය කර ගෙල වැලලාගන්නට ඇති බවටත් සැකකරන බව පොලිසිය සඳහන් කරයි.
පාණදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ සිදු කළ අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.
පොතුපිටිය – සුමිත් ප්‍රේමතිලක බණ්ඩාරගම – බිමල් ජයසිංහ