Monday, April 21, 2025
Home » වවන ඉඩම් කැබැලි කර විකුණා අන්නාසි වගාව වළපල්ලට යවලා

වවන ඉඩම් කැබැලි කර විකුණා අන්නාසි වගාව වළපල්ලට යවලා

by sachintha
October 15, 2024 3:21 am 0 comment

වගාකරුවෝ අසරණයි : පිරිවැයත් වැඩියි

ගණන් යන අන්නාසි ජනතාවට එපාලු

ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටි අන්නාසි වගාවට අවශ්‍ය විශාල ඉඩම් කැබලි කර විකිණීම නිසා අන්නාසි වගාවට අවශ්‍ය විශාල ඉඩම් නොමැතිකමින් අන්නාසි වගා කටයුතුවල නිරත වෙළෙඳුන් විවිධ කරදරවලට මුහුණ පා ඇති බව අන්නාසි වගාකරුවෝ පවසති.

මේ වන විට අන්නාසි වගා කටයුතු සඳහා අවශ්‍ය කෘෂි රසායනික පොහොර සහ අන්නාසි පැළවල මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් අන්නාසි වගාවේ නිරත පුද්ගලයෝ විවිධ ගැටලුවලට මුහුණපා සිටිති. මේ වන විට එම කෘෂි රසායනික පොහොර සහ අන්නාසි පැළවල මිල ඉහළ යෑමෙන් අන්නාසි අස්වැන්න ශීඝ්‍රයෙන් පහළ බැස ඇති බව අන්නාසි වගාකරුවෝ පෙන්වා දෙති. මීට අමතරව ඉන්ධන මිල ඉහළ යෑමත් අන්නාසි වගා කටයුතුවල නිරත ශ්‍රමිකයන් සඳහා වැඩි වැටුපක් ගෙවීමට සිදු වීමත් හේතුවෙන් ද මෙම අන්නාසි වගාකරුවෝ විවිධ ගැටලුවලට මුහුණපා සිටිති. මේ දිනවල පවතින දැඩි ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අන්නාසි ඵලදාව ඉතා ඉක්මනින් කුණු වී විනාශ වීමේ අවදානමක් මතුව පවතින බැවින් අන්නාසි වගාකරුවෝ ද විවිධ කරදරවලට මුහුණ පා සිටිති.

මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටි උඩුගම්පොළ, දොම්පේ, කිරිඳිවැල, රදාවාන, මිනුවන්ගොඩ, මීරිගම, ගිරිඋල්ල වැනි ප්‍රදේශවල වගාකරුවන් වැඩි වශයෙන් අන්නාසි වගා කිරීමේ කටයුතුවල නිරතව සිටියි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ඉඹුල්ගොඩ, බැලුම්මහර ප්‍රදේශයේ අන්නාසි වෙළෙඳාමේ නිරත ආර්.පී. නුවන් මධුසංඛ මහතා මෙසේ පැවැසීය.

“මම වසර 20ක පමණ කාලයක සිට දිවුලපිටිය, මිනුවන්ගොඩ, කිරිඳිවැල, මිරිගම, රදාවාන වැනි ප්‍රදේශවල අන්නාසි වගා කටයුතු සිදු කර ඒවා විකිණීමට කටයුතු කරනවා. මේ වන විට අන්නාසි වගා කටයුතු සඳහා අවශ්‍ය විශාල ඉඩම් කැබලි කර විකිණීම නිසා අන්නාසි වගාවට අවශ්‍ය විශාල ඉඩම් නොමැතිකමින් අප විවිධ ගැටලුවලට මුහුණපා සිටිනවා. මේ වන විට අන්නාසි වගාවට අවශ්‍ය රසායනික පොහොර සහ අන්නාසි පැළවල මිල ඉහළ යෑමත්, අන්නාසි අස්වැන්න පහළ බැසීමත් නිසා අප විවිධ කරදරවලට මුහුණ පෑමට සිදුව තිබෙනවා. මීට අමතරව ඉන්ධන මිල සහ අන්නාසි වගා කටයුතුවල නිරත ශ්‍රමිකයකුගේ දිනක වැටුප ඉහළ යෑම හේතුවෙන් අන්නාසි ගෙඩියක මිල ඉහළ දැමීමට අපට සිදු වෙනවා. මෙයින් පරිභෝගික ජනතාව අන්නාසි මිලදී ගැනීමට මැලිකමක් දක්වනවා. මේ හේතු නිසා අන්නාසි වගා කටයුතු සඳහා විශාල පිරිවැයක් දැරුවත් නිසි ආදායමක් ලැබෙන්නේ නෑ. වගාව සඳහා අවශ්‍ය සහන පොලී පදනම මත ණය මුදල් ලබා ගැනීමට රජය මැදිහත්ව අවශ්‍ය සහන ලබා දිය යුතුයි.”

බැලුම්මහර, ඉඹුල්ගොඩ ප්‍රදේශයේ අන්නාසි වෙළෙඳාමේ නිරත කේ.කේ. සෝමලතා මහත්මිය මෙසේ පැවැසුවාය.

“මුල් කාලයේ අපි ගම්පහ දිස්ත්‍රික්කයේ විශාල ඉඩම්වල අන්නාසි වගා කිරීමේ කටයුතුවල නිරත වුණා. එහෙත් මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ විශාල ඉඩම් කැබලි කර විකිණීම නිසා අපට වගා කිරීමට අවශ්‍ය විශාල ඉඩම් නොමැතිකමින් අපි අන්නාසි වගා කටයුතුවලින් ඉවත් වී සිටිනවා. අන්නාසි වගා කිරීමේ කටයුතුවලදී රසායනික පොහොරවලට සහ අන්නාසි පැළවලට විශාල පිරිවැයක් දැරීමට සිදු වෙනවා. මීට අමතරව අන්නාසි වගාවට අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් සොයා ගැනීමේදී අපි විවිධ ගැටලුවලට මුහුණ දෙනවා. මේ නිසා මේ වන විට අන්නාසිවල මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑම නිසා පාරිභෝගික ජනතාව අන්නාසි මිලදී ගැනීමේදී දෙවරක් සිතා බලනවා. මීට අමතරව මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් අන්නාසි අස්වැන්න කුණු වී විනාශ වීමත් අන්නාසි ව්‍යාපාරිකයන් විදියට අප මුහුණ දෙන ගැටලුවක්. මුල් කාලයේ මෙම ස්ථානයෙන් අන්නාසි මිලදී ගැනීමට දේශීය, විදේශීය පරිහෝගික ජනතාව වැඩි වශයෙන් පැමිණියත් ඔවුන් මේ වන විට පවතින ආර්ථික ගැටලු නිසා අන්නාසි මිලදී ගැනීමට වැඩි කැමත්තන් දක්වන්නේ නැහැ. ඒ අනුව අන්නාසි වගාවේ සහ වෙළෙඳාමේ නිරත වෙළෙඳුන්ට රජය මැදිහත්ව අවශ්‍ය සහන ලබා දෙන ලෙසටත් ඉල්ලා සිටිනවා.”

මහර සමූහ

ගණිදු රෝචන සමරතුංග

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT