Home » ජනතාව අසීරුවෙන් ජීවත් වෙද්දී මැති ඇමැතිවරුන් කෝටි ගණන් වියදම් කර විදේශ සංචාර ගියා

ජනතාව අසීරුවෙන් ජීවත් වෙද්දී මැති ඇමැතිවරුන් කෝටි ගණන් වියදම් කර විදේශ සංචාර ගියා

-සර්ව ජන බලය පක්ෂයේ සභාපති, කළුතර දිස්ත්‍රික් අපේක්ෂක රොෂාන් රණසිංහ

by sachintha
October 15, 2024 2:44 am 0 comment

රට බංකොලොත් තත්ත්වයට පත්ව ජනතාව ඉතා අසීරුවෙන් ජීවිකාව ගෙන යද්දී රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ මැති ඇමැතිවරුන් විදේශ සංචාර සඳහා රුපියල් කෝටි ගණනින් මුදල් වැය කළ බවත්, ඒවා සම්බන්ධයෙන් ජනතාවට හෙළිදරව්වක් කරන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් සර්ව ජන බලය පක්ෂයේ සභාපති, කළුතර දිස්ත්‍රික් අපේක්ෂක රොෂාන් රණසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවැසුවේ පෙරේදා (13) ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනා අතරින් 150කට වැඩි පිරිසක් මහමැතිවරණයේදී එළියට විසි වන බව මම ජ්‍යෙතිෂවේදීන්ටත් කලින් 2023 නොවැම්බර් මාසයේදී ප්‍රකාශ කළා. හිටපු මන්ත්‍රීවරුන් පනහක් හැටක් මහමැතිවරණයට තරග නොකරම ඉවත් වුණා. තරග කරන හිටපු මන්ත්‍රීවරුන් අතරිනුත් වැඩි පිරිසක් ජනතාව මේ පාර ගෙදර යවනවා. වංචා, දූෂණ, හොර මැරකම් සිදු කරමින් රාජ්‍ය දේපොළ පෞද්ගලික පරිහරණයට යොදා ගනිමින් සිදු කරන දේශපාලනය ජනතාව අනුමත කරන්නේ නෑ කියන යථාර්ථය දැන්වත් දේශපාලනඥයන් තේරුම් ගත යුතුයි.

පසුගිය ජනපතිවරණ ප්‍රතිඵලය විශ්ලේෂණය කිරීමේදී රටේ 60%ක් වන මධ්‍ය වාමවාදීන් එක් පැත්තකට තල්ලුවී ගිය ස්වරූපයක් පැහැදිලිව පෙනෙන්න තිබෙනවා. මධ්‍ය වාමවාදී කඳවුරේ වැඩි ශක්තිය තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට. මේ පක්ෂ දෙකම පසුගිය කාලයේදී කටයුතු කළ ආකාරය නිසා මේ ජනතාව දැඩි අපහසුතාවට පත්වුණා. ඒ කලකිරීම නිසා තමයි මධ්‍ය වාමවාදී බලවේග සියල්ල ජාතික ජන බලවේගය වටා එකතු වුණේ. මධ්‍ය වාමවාදියා දිගු කලක් එතැන රැඳෙන්නේ නෑ. ඒ අයට නැවත එන්න නිසි වැඩපිළිවෙළක් සහ දැක්මක් තිබෙන පක්ෂයක් තිබිය යුතුයි. ව්‍යවසායකත්වයත්, ජාතිකත්වයත්, ස්වදේශකත්වයත් මුල්කර ගනිමින් සර්ව ජන බලය පක්ෂය බිහිවන්නේ එම අඩුව පුරවන්න. මාලිමාවෙන් තමන්ගේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන්නේ නම් ජනතාවට පෙළ ගැසීමට තැනක් තිබීම වැදගත්.

මාලිමාවට වරදිනකල් බලාගෙන ඉඳලා බලය ගන්න අපට වුවමනාවක් නෑ. ජනතාවාදී වැඩසටහන්වලට අපි අපේ උපරිම සහාය දෙනවා. මෙතෙක් කල් මේ රටේ තිබුණේ ඍණාත්මක විපක්ෂයක්. පළමු වතාවට අපි මෙවර ධනාත්මක විපක්ෂයක් ගොඩනඟනවා. පසුගිය ජනපතිවරණයේදී ජාතික ජන බලවේගය පිටු 300ක පොරොන්දු ජනතාවට දී තිබෙනවා. ඒවා ඔවුන් ලවා ඉටු කරවාගැනීම අපේ වගකීමක්.”

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT