Home » ජනපති ගෙන යන ධනාත්මක වැඩපිළිවෙළට සහාය දීමට සූදානම්

ජනපති ගෙන යන ධනාත්මක වැඩපිළිවෙළට සහාය දීමට සූදානම්

-හිටපු මන්ත්‍රී මුජිබර් රහුමාන්

by sachintha
October 15, 2024 2:39 am 0 comment

වර්තමාන ජනාධිපතිවරයා ගෙන යන ධනාත්මක වැඩසටහන් සහ රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළට සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ සහයෝගය දීමට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ පෙරේදා (13) සමගි ජන සන්ධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය මෙවර මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ගෙන රට ස්ථාවර කිරීමේ සහ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩසටහන එළැඹෙන සතියේ දී ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

මෙවර මහ මැතිවරණයේදී බොහෝ දේශපාලන පක්ෂවලට අපේක්ෂකයන් ඉදිරිපත් කරගැනීමට නොහැකිව අර්බුදයකට ලක්වෙලා තිබෙනවා. ඇතැම් දේශපාලන පක්ෂ සම්පූර්ණයෙන්ම නැතිවී ගොස් තිබෙනවා. රටේ පවතින දේශපාලන අර්බුදය තුළ පක්ෂයක් ලෙස ජනතාවගේ බලාපොරොත්තු සහ ඉදිරි දැක්ම සමඟ ඉදිරියට යා හැකි දක්ෂ කණ්ඩායමක් ඉදිරිපත් කරන්න සමගි ජන බලවේගයට සහ සමගි ජන සන්ධානයට හැකියාව ලැබී තිබෙනවා. කෙසේ හෝ සමගි ජන සන්ධානයේ මැතිවරණ ව්‍යාපාර කටයුතු සාර්ථකව සිදු කර පාර්ලිමේන්තුවේ බහුතරයක් ගෙන රට වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට සමගි ජන සන්ධානය ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑම තමයි අපගේ බලාපොරොත්තුව. වර්තමාන ජනාධිපතිවරයා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ සමගි ජන සන්ධානය ඉදිරිපත් කළ වැඩපිළිවෙළට සමාන වැඩපිළිවෙළක්. සමගි ජන බලවේගයට සහ සමගි ජන සන්ධානයට ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නෑ. වර්තමාන ජනාධිපතිවරයා ගෙන යන ඒ ධනාත්මක වැඩසටහන් සහ රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානයේ සහාය දෙන්න සූදානම්. පාර්ලිමේන්තුව තුළ සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය ගන්නා බහුතර බලයකිනුත් බලාපොරොත්තු වෙන්නේ අපි ඉදිරිපත් කළ ආර්ථික වැඩසටහන ඉදිරියට ගෙන යන්නයි.”

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT