Monday, April 21, 2025
Home » බඩල්ගම කම්හලක බොයිලේරුවක් පිපිරී පුද්ගලයෙක් මියගිහින්

බඩල්ගම කම්හලක බොයිලේරුවක් පිපිරී පුද්ගලයෙක් මියගිහින්

-19ක් රෝහලේ

by sachintha
October 15, 2024 3:07 am 0 comment

බඩල්ගම ප්‍රදේශයේ කම්හලක සිදු වූ පිපිරීමකින් තුවාල ලැබූ දහනව දෙනකු ප්‍රතිකාර සඳහා අකරගම සහ මීගමුව රෝහල්වලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් අයකු මිය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. බඩල්ගම පිහිටි සක්‍රීය කාබන් නිෂ්පාදන කම්හලක බොයිලේරුවක් පිපිරීමෙන් මේ අනතුර සිදුව ඇති බව මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි. මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට රෝගීන් 12ක් ඇතුළත් කර ඇති අතර ඔවුන් අතරින් එක් අයකු මිය ගොස් තිබේ. මියගොස් ඇත්තේ පහළ නාරන්ගමුව, ගිරිඋල්ල පදිංචිව සිටි ජී.එච්.එන්. කුලතුංග නමැත්තෙකි. බඩල්ගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

මහා පරිමාණ කර්මාන්ත ජාලයකට අයත් මේ කර්මාන්ත ශාලාව දිවා රාත්‍රී වැඩ මුර දෙකක් ක්‍රියාත්මක වන බවත් රාත්‍රී වැඩ මුරය අවසාන වන අවස්ථාවේ මේ බොයිලේරුව පුපුරා ගොස් ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණවල දී හෙළි වී ඇත. බොයිලේරුව පුපුරා යාමත් සමඟ පිළිස්සුම් තුවාල ලැබූ දහ අට දෙනා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතළ තත්ත්වයේ සිටි තුවාලකරුවන් දෙදෙනාගෙන් එක් අයකු එහිදී මිය ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

රාත්‍රී වැඩ මුරය අවසාන වන විට අධික තාපයට ලක්වීම හේතුවෙන් බොයිලේරුව පුපුරා යන්නට ඇති බවට පොලීසිය සැක කරයි.

තුවාලකරුවන්ගෙන් කීහිපදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට නියමිතව තිබිණි.

මීගමුව සහකාර පොලිස් අධිකාරි සෙනරත් එදිරිසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ බඩල්ගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පතිරණ මහතා ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.

කොටදෙණියාව සමූහ – එම්. පුෂ්පකුමාර, පන්නල සමූහ – එච්. ඩී. හේවගේ සහ කටාන – බර් ටි වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT