සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට තව අයෙක් සොයා විමර්ශන
හාලිඇළ රොසට්වත්තේ ත්‍රිරෝද රථ රියැදුරෙකු මඩොල්සිම පුංචි ලෝකාන්තය අසලට රැගෙන ගොස් පහරදී සිරුර මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයට ඇද විසිකර දැමූ බව කියන පුද්ගලයකු ඊයේ (14) සැකපිට අත්අඩංගුවට ගත් බව හාලිඇළ පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ හාලිඇළ රොසට්වත්තේ විවේකානන්දන් සුජීවන් නැමති 23 හැවිරිදි අවිවාහක තරුණයකු යැයි පොලිසිය පවසයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මඩොල්සිම බටාවත්ත ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රබොස් දයාලන් නමැති 34 හැවිරිදි එක්දරු පියෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හැලිඇළ පොලිසිය පවසයි.
හාලිඇළ රොසට්වත්තේ පදිංචි ඝාතනයට ලක්වූ තරුණයා මඩොල්සිම බටාවත්තේ පදිංචි සැකකරුගේ ත්‍රිරෝද රථය රුපියල් 350,000ක මුදල් ගෙවා රුපියල් 13000 බැඟින් වාරික 36කින් ලිසිං ගෙවීමේ ක්‍රමයට මෑතදී මිළදී ගෙන ඇති බවද පොලිසිය පවසයි.
සැකකරු හාලිඇළ ක්වින්ස්ටවුන්වත්තේ කාන්තාවක සමඟ විවාහ වී ඇති බවත් මොවුන්ට එක් කුඩා දරුවෙකු සිටින අතර, සැකකරුගේ බිරිය දරුවෙකු ප්‍රසූත කිරිමට බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටින බවත් පොලිසිය සඳහන් කළේය.
මොහු මඩොල්සිම බටාවත්තේ නතර වී එහි කම්කරු රැකියාවක නිරතව සිට ඇති අතර, ආර්ථික අපහසුතාව හේතුවෙන් මොහු එම වත්තේ පදිංචි මිතුරෙකු සමඟ එක්වී මැණික් ගල් කිහිපයක් සහ රන්භාණ්ඩ විකිණීමට යෑමට ඇති බවට හාලිඇළ රොසට්වත්තේ ත්‍රිරෝද රථ රියැදුරුට කතා කර ඔහු ඉකුත් 30 වැනිදා රාත්‍රි මඩොල්සිම නගරයට ගෙන්වා ගෙන ඇති බවත්, මඩොල්සිම නගරයේ ඉන්ධන පිරවුම් හල අසල දී සැකකරු සහ ඔහුගේ මිතුරා මෙම ත්‍රිරෝද රථයට ගොඩ වී තිබෙන බවත් පොලිසිය පවසයි.
පසුව සැකකරු පුංචිලෝකාන්තයට යන මාර්ගය අසල කැලෑවේ රන්භාණ්ඩ සහ මැණික් ගල් කිපයක් විකිණීමට සූදානම් කර සඟගවා තිබෙන බව පවසා ත්‍රිරෝද රථ රියැදුරු මඩොල්සිම පුංචි ලෝකාන්තය අසලට ඉකුත් 1 වැනිදා අලුයම 3.30ට පමණ රැගෙන ගොස් ඇති බවද පොලිසිය පවසයි.
අනතුරුව සැකකරු ත්‍රිරෝද රථ රියැදුරුගෙන් ත්‍රිරෝද රථය විකිණීමට ඉල්ලා ඇති බවත් එහිදී ඇතිවූ ආරවුලක් දුරදිග යැමෙන් අනතුරුව සැකකරු මිතුරා සමඟ එක්වී ත්‍රිරෝද රථ රියැදුරුට අතින් පයින් සහ උල් ආයුධයකින් පහරදී පසුව ඔහුගේ අත් සහ පාද දෙකෙන් අල්ලා පද්දමින් පුංචි ලෝකාන්තයේ ප්‍රපාතයට ඇද විසිකර දමා ඇති බවට සැකකරු ගෙන් සිදු කළ පාපොච්චාරණයේදී තොරතුරු අනාවරණය විණයි පොලිසිය සඳහන් කළේය.
පසුව සැකකරු මිතුරා සමඟ එක්වී ත්‍රිරෝද රථය බදුල්ල නගරයට රැගෙන විත් නගරයේ පෞද්ගලික මූල්‍ය සමාගමකට විකුණා රුපියල් 450,000ක පමණ මුදල් ලබා ගෙන දෙදෙනා මුදල් බෙදාගෙන ඇති බවත් පොලිසිය පවසයි.
මේ අතර ඉකුත් 30 වන දින මධ්‍යම රාත්‍රි සිය මිතුරකුගේ මංගල උත්සවයකට යන බවට හාලිඇළ රොසට්වත්තේ පදිංචි 23 හැවිරිදි තරුණයා සිය සහෝදරියට පවසා නිවසින් පිටත්ව ගියත් ඔහු දින කීපයකින් යලි නිෙවසට නොපැමිණි හෙයින් පුතා අතුරුදහන් බවට පියා ඉකුත් 6 වැනිදා හාලිඇළ පොලිසියට ගොස් පැමිණිලි කර ඇත.
ඒ අනුව පරික්ෂණ කටයුතු ආරම්භ කළ හාලිඇළ පොලිසිය මේ සම්බන්ධයෙන් ත්‍රිරෝද රථය විකිණූ මඩොල්සිම බටාවත්තේ පුද්ගලයා සොයා ඔහුගේ නිෙවසට ගොස් සැකකරු සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්නට වූ බවත් එහිදී සැකකරු පොලිසිය නොමඟ යවමින් විවිධ දේ පැවසූ බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
පසුව පොලිස් නිලධාරීන් දිගින් දිගටම සැකකරු ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බවත්, එය සැකකරු සිය මිතුරා සමඟ එක්වී සිදු කළ බවට සැකකරු පිළිගත් බවද පොලිසිය පැවසීය.
ඒ අනුව සැකකරු ඔහු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ එකහමාරක පමණ මුදල් සමඟ පොලිසිය අත්අඩංගුවට ගෙන ත්‍රිරෝද රථය බදුල්ලේ පිහිටි පෞද්ගලික මූල්‍ය සමාගම කන්දෙගෙදර ප්‍රදේශයේ පුද්ගලයකුට විකුණා තිබියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
මෙම සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරු ලක්ෂ තුනහමාරක පමණ මුදල් රැගෙන මඩකලපුව ප්‍රදේශයට පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනිමට හාලිඇළ පොලිසිය පරික්ෂණ කටයුතු සිදු කරනු ලබයි.
මේ අතර මඩොල්සිම පුංචි ලෝකාන්තයේ ප්‍රපාතයට ඇද විසිකර දැමූ තරුණයාගේ සිරුර මෙතෙක් සොයා නොගත් බවත්, මඩොල්සිම පොලිසිය, හාලිඇළ පොලිසිය එක්වී යුද හමුදා නිලධාරීන්ගේ සහය මත පුංචි ලෝකාන්තයට බැස එම තරුණයාගේ සිරුර සෙවීමේ කටයුතු ඊයේ (14) දින සිදු කිරීමට නියමිතව ඇති බවත්, අධික ශීතල, මීදුම මෙන්ම වර්ෂාව එම කටයුතුවලට බාධාවක් වී ඇතැයි පොලිසිය පවසයි.
සොරණාතොට සමූහ – සී. ගමගේ, බදුල්ල නිශාන්ත අබේගුණවර්ධන