ස්වීඩනයේ රාජකීය විද්‍යායතනයේ වාර්ෂික නොබෙල් ත්‍යාග මාලාවේ අවසන් අදියර වන ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය සඳහා අමෙරිකානු ජාතික ආර්ථික විද්‍යාඥයන් වන ඩැරන් ඇසිමොලු, සයිමන් ජොන්සන් සහ ජේම්ස් රොබින්සන් නම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ස්වීඩනයෙන් බිහිවූ විශිෂ්ටතම රසායන විද්‍යාඥ ඇල්ෆ්‍රඩ් නොබෙල් අනුස්මරණය කරමින් සියවසකට වැඩි කාලයක් පුරා වාර්ෂිකව පිරිනැමෙන නොබෙල් ත්‍යාග මාලාවේ අවසන් ත්‍යාගය පිරිනැමීම ඊයේ නිවේදනය කළ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මෙවර නොබෙල් ත්‍යාගලාභීන්ට නිල වශයෙන් එම ත්‍යාග හා මූල්‍යාධාර පිරිනැමීම ලබන දෙසැම්බර් මස 10 වැනිදාට යෙදෙන ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ ජන්ම දින ගුණානුස්මරණ උත්සවයේදී සිදු කිරීමට නියමිතය.
අමෙරිකානු ආර්ථික විද්‍යාඥයන් තිදෙනාට මෙවර නොබෙල් ආර්ථික විද්‍යා ත්‍යාගය හිමිවූයේ ආයතන පිහිටුවන ආකාරය සහ සමෘද්ධියට බලපාන ආකාරය පිළිබඳ සිදු කළ ඵලදායි අධ්‍යයනය වෙනුවෙන් බව ද ස්වීඩනයේ රාජකීය විද්‍යායතනය වැඩිදුරටත් නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
රටවල් අතර ආදායමේ විශාල පරතරය අවම කිරීම වත්මන් ලෝකයේ විශාලතම අභියෝගය බවත්, එය සාක්ෂාත් කර ගැනීම සඳහා සමාජ ආයතනවල වැදගත්කම එම ආර්ථික විද්‍යාඥයන් පැහැදිලිව පෙන්නුම් කර ඇතැයි ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාග කමිටුවේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.