Home » අමුගොඩ සෝමරතන නාහිමි 96 වැනි වියට පා තබති

අමුගොඩ සෝමරතන නාහිමි 96 වැනි වියට පා තබති

by sachintha
October 15, 2024 1:03 am 0 comment

අමුගොඩ ජයසුමනාරාම පුරාණ විහාරය, තලගස්පේ ජයවර්ධනාරාමය, කැටන්දොළ බෝධිරාජාරාමය සහ කිරිදොථ ඉගලහේන බෙරලිය වනයේ ආරණ්‍ය සේනාසනය යන චතුර් විහාරයන්හි විහාරාධිපති අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අනුනායක සද්ධර්ම කීර්ති ශ්‍රී මහෝපාධ්‍යාය කවීෂ්වර අමුගොඩ සෝමරතනාභිධාන නාහිමිපාණන් වහන්සේගේ 96 වැනි ජන්ම දිනය පසුගිය සැප්තැම්බර් 12 වැනි දිනට යෙදී තිබිණ.

උන්වහන්සේ ප්‍රදේශයේ ශ්‍රද්ධාසම්පන්න දෙමාපිය යුවළක් වන කේ.පී. තෝමිස් අප්පු මුදලාලි මහතා සහ කේ.එස්. ඇලිස් නෝනා මහෝපාසිකාවට දාව 1928 සැප්තැම්බර් මස 12 වැනි දින ජන්මලාභය ලබා ඇත. උන්වහන්සේගේ ගිහි නම කේ.පී. ඇලෙක්මන්ය. දරුවන් 11 දෙනෙකුගෙන් යුත් පවුලක හයවැනි දරුවා වූ ඇලෙක්මන් ගා/ අමුගොඩ රජයේ විදුහලට ඇතුළත්ව සිය ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කර තිබේ. සිය ප්‍රාථමික අධ්‍යාපනය ලබන අවධියේ සිටම අමුගොඩ ජයසුමනාරාමය වෙත ගිය ඇලෙක්මන් දරුවා එවකට විහාරාධිපතිව වැඩ විසූ අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ කාරක සංඝ සභික විනයාචාර්ය, පූජ්‍යපාද තලගස්පේ සිරි පඤ්ඤාසෝම නාහිමිපාණන්ගේ ඇසුරට වැටී දහම් පතපොත පරිශීලනයට හුරුව තිබේ. උන්වහන්සේගේම ආචාර්යත්වය යටතේ 1944 මාර්තු මස 10 වැනි දින සසුන්ගතව අමුගොඩ සෝමරතන නම ලැබීය.

කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙන්පති අතිපූජ්‍ය වැලිවිටියේ සෝරත නාහිමි, රාජකීය පණ්ඩිත රද්දැල්ලේ පඤ්ඤාලෝක නාහිමි ආදී ගුරු පරපුරක් ඇසුරු කිරීමට භාග්‍ය ලත් උන්වහන්සේ හෙරණසික ආචාර්යපාදයන් වහන්සේගෙන් මූලික බණ දහම්, බුද්ධ ගජ්ජය, නාමස්ථ ශතකය, සකස්කඩ ආදී පොතපත ඇසුරු කර ඇති අතර, පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා පූජ්‍යපාද රන්දොඹේ පඤ්ඤාරංසි නාහිමි, වැලිතර ඥානරතන නාහිමි සහ පූජ්‍ය කොස්ගොඩ සුධම්මාලංකාර නාහිමිවරුන්ගේ ගුරුහරුකම් සහ ආශීර්වාදය ලබමින් සිය දහම් පරිචය වැඩිදියුණු කරගෙන තිබේ. පසුව කොළඹ පිටකොටුව ගුණසිංහපුර බෝධිරාජාරාම විහාරයේ නේවාසිකව මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත්ව ඇත.

අතිපූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමි, රද්දැල්ලේ පඤ්ඤාලෝක නාහිමි ආදී පරම පූජනීය ආචාර්යවරුන් ඇසුරේ අධ්‍යාපනය ලබමින් කොළඹ ගුණසිංහපුර කෙසෙල්වත්තේ බෝධිරාජාරාමයේ නේවාසික වී අතිපූජ්‍ය රන්දොඹේ පඤ්ඤාරංසි නාහිමිපාණන් වහන්සේගේ හවුහරණ ලබමින් විද්‍යෝදය පිරිවෙන වෙතින් සිංහල, පාලි, සංස්කෘත, ඡන්දස් අලංකාර ඉතිහාසය, නක්ෂත්‍ර ආදී විෂය ක්ෂේත්‍ර ප්‍රගුණ කර ඇත.

එවක අමරපුර සිරි සද්දම්මවංස මහා නිකායේ මහා නායක ධුරන්ධර හිමිපාණන්ගේ උපාධ්‍යායත්වයෙන් බළපිටිය මාදු ග‍ඟේ උදකුක්ඛේප ස්වේජින් සීමා මාලකයේදී 1949 ජූලි මස 11 දින උපසම්පදාවට පත් උන්වහන්සේ සිය ජන්මලාභය ලත් අමුගොඩ ග්‍රාමය වෙත වැඩම කර, ජයසුමනාරාමයේ වාසය කිරීම ආරම්භ කර ඇත. පසුව සිය ගුරුදේවයන් වහන්සේගේ නියමය පරිදි තලගස්පේ වර්තමාන ජයවර්ධනාරාමයට වැඩම කර එහි විහාරාධිකාරී හිමියන් වශයෙන් විශාල ශාසන සේවාවක් සිදු කර තිබේ. විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් දහම් පාසල, ග්‍රාම සංවර්ධන සමිති ආරම්භ කිරීමට මුල්වී කටයුතු කර ඇත.

1955 වර්ෂයේදී අමුගොඩ ජයසුමනාරාමයේ විහාරාධිපතිව වැඩ විසූ තලගස්පේ පඤ්ඤාසෝම නාහිමිපාණන්ගේ අභාවයෙන් පසුව එහි විහාරාධිපති ධුරයට පත් උන්වහන්සේ මේ වන විටත් එහි විහාරාධිපතිත්වය දරමින් වාර්තාගත ශාසන සේවාවක් සිදු කර මහ ‍ෙතර නමක් බවට පත්ව ඇත. ලංකා බෞද්ධ ශාසන ඉතිහාසයේ වසර 70කට ආසන්න කාලයක් විහාරාධිපතිත්වය දරමින් ශාසන සේවාවක් සිදු කළ හිමිපාණන් වහන්සේ නමක් පිළිබඳව තොරතුරු තිබේදැයි සැක සහිතය. ඒ අතින් උන්වහන්සේ මෙම ලිපියේ මුලින් සඳහන් කර ඇති ආකාරයට චතුර් විහාර ගණයක විහාරාධිපතිත්වය දරමින් අති පුළුල් සමාජ මෙහෙවරක් කරමින් පසුවෙයි.

අමුගොඩ ජයසුමනාරාමය කේන්ද්‍ර කර ගනිමින් ලුම්බිණි දහම් පාසල ආරම්භ කළ උන්වහන්සේ ප්‍රදේශයේ දරු දැරියන්ගේ දහම් දැනුම වර්ධනය කිරීම උදෙසා දැවැන්ත සේවාවක් සිදු කර ඇති අතර, සිය නක්ෂත්‍ර දැනුම තුළින්ද පුළුල් සමාජ මෙහෙවරක නියැළී තිබේ. සෙත්කවි ලිවීම සම්බන්ධව ප්‍රසිද්ධියක් උසුලන උන්වහන්සේ සිය ලේඛන ප්‍රතිභාව මනාව සාක්ෂාත් කරමින් ධර්ම ග්‍රන්ථ රැසක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අතරින් පහත සඳහන් ග්‍රන්ථ ප්‍රධාන වේ. ‘භක්ත්‍යාංජලී අපුගොඩ ජයසුමනාරාම විහාර වර්ණනාව’ ‘මිනිස් දිවියෙ දශකයේ වගතුග බුදුබණ බුදු සිරිත කවියෙන්, ‘උන්වහන්සේ සම්පාදනය කැර ඇත. සිය ප්‍රධාන ශිෂ්‍යරත්නය වන අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ දක්ෂිණ ලංකාවේ සමථබල සහිත ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍යපාද අමුගොඩ සෝමානන්ද නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් අමුගොඩ ජයසුමනාරාමය සියලු විහාර අංග සහිතව සංවර්ධනය කරමින් අතිපුළුල් ශාසන මෙහෙවරක යෙදෙමින් පවතින බව විශේෂයෙන් සඳහන් කළ යුතු ය. පැරණි විහාර මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීම, සීමාමාලකයක් ඉදිකිරීම, තායිලන්තයේ රාජකීයයන්ට නෑකම් ඇති Capton PramokNavbll මැතිතුමාගේ මූලිකත්වය සීමාමාලකය තැනීම සඳහා ලැබී ඇත. සංඝාවාසය සියලු අංග සහිතව පුළුල් කිරීම, පිවිසුම් තොරණක් ඉදිකිරීම, දානශාලාවක් ඉදිකිරීම, පිවිසුම් මාර්ගය කාපට් අතුරා සකස් කිරීම, කොරියානු ආධාර ලබාගනිමින් දෙමහල් ධර්ම මන්දිරයක් ඉදිකිරීම ඒ අතර වේ. ඒ අනුව අමුගොඩ සෝමරතන නායක ස්වාමීන් වහන්සේගේ විහාරාධිපතිත්වය යටතේ අමුගොඩ ජයසුමනාරාමය ප්‍රදේශයේ ප්‍රචලිත විහාරස්ථානයක් බවට පත්ව ඇත.

අමුගොඩ සෝමරතන නායක නාහිමිපාණන් වහන්සේගේ සිසු පරපුර පිළිබඳව ද මෙහිදී විශේෂ සඳහනක් කළ යුතුව ඇත. ප්‍රධාන ශිෂ්‍යරත්නය වන අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ දක්ෂිණ ලංකාවේ සමථබල සහිත ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍යපාද අමුගොඩ සෝමානන්ද නාහිමිපාණන් වහන්සේ මෙහිදී සුවිශේෂී වෙයි. උන්වහන්සේ පැවිදි බව ලබා වර්ෂ 60ක් ගතවීම ද මේ වර්ෂයට යෙදී තිබීම තවත් සුවිශේෂී කරුණක් වේ. විහාරස්ථාන‍ෙය් වත්මන් සංවර්ධනය උදෙසා සිය ගුරු හිමිපාණන්ට අනුපමේය සහායක් ලබාදීමට සෝමානන්ද හිමිපාණන් උත්සුක වී තිබේ.

උන්වහන්සේගේ සිසු පරපුරේ දෙවන පුරුක නම් මාලඹේ ශෛලාරාමාධිපති, ශ්‍රීලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති ඇත්කඳුරේ සුමනසාර ස්ථවිරයන් වහන්සේ ය. විචිත්‍ර ධර්ම කථික හිමිනමක් වශයෙන් උන්වහන්සේ දිවයින පුරා ප්‍රචලිතය.

තල්ගස්පේ ජයවර්ධනාරාම කෘත්‍යාධිකාරී, කහදූව පඤ්ඤානන්ද පිරිවෙන් ආචාර්ය, ශාස්ත්‍රපති පූජ්‍ය පි‌ටිගල සෝමාලංකාර හිමිපාණන් උන්වහන්සේගේ සිසු පරපුරේ තෙවැනි පුරුකය.

කැටන්දොළ බෝධිරාජාරාම කෘත්‍යාධිකාරී, මානව හිමිකම් ආයතනයේ උපදේශක පූජ්‍ය රතනානන්ද හිමිපාණන් සහ පූජ්‍ය මාඑළියේ ශාන්තසිරි හිමි යන දෙපළ ද උන්වහන්සේගේ අභිමානවත් සිසු හිමිවරු වෙති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT