Monday, April 21, 2025
Home » මුදුන්ගොඩ, බැළුම්මහර සතිපොළේ අඩුපාඩු නිසි පරිදි පිළිසකර කරදෙන්න

මුදුන්ගොඩ, බැළුම්මහර සතිපොළේ අඩුපාඩු නිසි පරිදි පිළිසකර කරදෙන්න

by sachintha
October 14, 2024 2:53 am 0 comment

මුදුන්ගොඩ, බැළුම්මහර සතිපොළේ වෙළෙඳුන්ට වෙළඳාම් කිරීමට කණු සිටුවා කඩ කාමර ඉදි කිරීමට සකසා තිබුණත් එහි කොටසකට වහලය සඳහා සෙවිලි තහඩු සවිකර නොමැති බැවින් මෙම ස්ථානයට පැමිණෙන වෙළෙඳුන් අව්වෙන් සහ වැස්සෙන් විවිධ පීඩාවලට ලක්ව ඇති බව ඔවුහු පවසති.

මීට අමතරව මෙම සතිපොළට අවශ්‍ය පානීය ජල පහසුකම් නොමැති කමින් මෙහි වැසිකිළි පද්ධතිය අපවිත්‍රව පැවතීම නිසා මෙම ස්ථානයට පැමිණෙන වෙළඳුන් සහ පාරිභෝගික ජනතාව විවිධ කරදරවලට මුහුණපා සිටිති. මෙම සතිපොළ භූමියට විදුලි බලය නොමැති කමින් රාත්‍රී කාලයට මෙම ස්ථානයට පැමිණෙන වෙළෙඳුන් විවිධ දුෂ්කරතාවලට මුහුණපා සිටිති. මේ වනවිට මෙම සතිපොළට පැමිණෙන සමහර වෙළෙඳුන් තමන්ට වෙළඳාම් කිරීමට අවශ්‍ය කඩ කාමර නිසි පරිදි සකස් කර මෙහි වෙළඳාමේ නිරතව සිටිති. මෙම සතිපොළ භූමියට පැමිණෙන සමහර වෙළෙඳුන් මෙහි තැන් තැන්වල කැළි කසළ බැහැර කිරීම නිසා මෙම භූමිය අපවිත්‍රව දැඩි දුගඳක් හමන බව එහි ගිය අපට දැක ගැනීමට හැකි විය.

මීට අමතරව මෙම භූමියට පැමිණෙන වෙළෙඳුන්ට සහ පාරිභෝගික ජනතාවට සිය රථවාහන ගාල් කර තැබීමට රථගාලක් ඉදි කර නොමැතිකමින් ඔවුන් විවිධ ගැටලුවලට මුහුණපා සිටිති. මීට අමතරව මෙම භූමියේ නිසි පරිදි කානු පද්ධතියක් ඉදිකර නොමැති නිසා වර්ෂා කාලයට ප්‍රදේශය ජලයෙන් යටවීමේ අවදානමක් මතුව පවතියි. මෙම භූමියට පැමිණෙන වෙළෙඳුන්ට අවශ්‍ය කඩ කාමර ප්‍රමාණවත් පරිදි ඉදි කර නොමැති බැව් ඔවුන් තැන් තැන්වල තාවකාලිකව ඉටිරෙදි ගසා කඩ කාමර තාවකාලිකව සකස් කර වෙළඳාමේ නිරතව සිටින නිසා මෙම ස්ථානයට පැමිණෙන පාරිභෝගික ජනතාව විවිධ පීඩාවලට ලක්ව සිටිති.

මෙම සතිපොළ පුද්ගලික සතිපොළක් වන අතර මෙම භූමිය සම්බන්ධව නීතිමය ගැටලුකාරී තත්ත්වයක් ඇති බව එහි ගිය අපට දැන ගැනීමට හැකි විය. ඒ අනුව මුදුන්ගොඩ, බැළුම්මහර සතිපොළේ පවතින අඩුපාඩු නිසි පරිදි පිළිසකර කර දෙන ලෙසට ප්‍රදේශවාසීහු අදාළ අංශවලින් ඉල්ලා සිටිති.

මහර සමූහ ගණිදු රෝචන සමරතුංග

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT