ඉංගිරිය – කොළඹ පෞද්ගලික බස්රථ ධාවනය ක්‍රමවත් කිරීමට පාදුක්ක මොරගහතැන්නේ විහාරස්ථානයට නුදුරින් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ වේලා සටහන්කරුවෙකු සමඟ සටහන් කුටියක් ස්ථාපිත කර ඇත. මේ හේතුවෙන් කලට වේලාවට බස්රථ ධාවනය වෙතැයි මහජනතාව පවසති.
මෙතෙක් මෙම මාර්ගයේ බස්රථ ඉංගිරියෙන් කොළඹ බලා පිටත් වූ පසු නිසි පරිදි අධීක්ෂණයක් නොමැතිකමින් ඉදිරිපත් වන මහජන ඉල්ලීම් සහ චෝදනා අවම කිරීමේ අරමුණින් මෙම වේලා සටහන්කරුවෙකු යෙදවීම සිදුකළ බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය කියයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ඉංගිරිය පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.ඒ. සුමිත් මහතා මෙසේ පැවසීය.
“මේ පාරේ බස් පාදුක්ක නගරය හරහා තමයි ධාවනය වෙන්නේ. පාදුක්ක නගරයෙනුත් බස් රථ පිටත් වෙනවා. ඇතැම්විට ගැටීම් ද ඇති වෙනවා. ඒකට හේතුව කලට වේලාවට නිසි පරිදි බස් රථ ධාවනය නොවීම. මේ වැඩේ සුභවාදී එකක්.”
පාදුක්ක මොරගහතැන්නෙ අලුතින් ස්ථාපිත කර ඇති බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ වේලා සටහන්කරු ටී.ඒ.පී.සී. සිරිවර්ධන මහතා මෙසේ පැවසීය.
“ඉංගිරියෙන් පාදුක්කට බස් රථයක් පැමිණෙන්න විනාඩි 35ක වගේ කාලයක් තමයි ගතවෙන්නේ. මෙතන වේලාව සටහන් කරන නිසා වෙනදා විනාඩි 45ක් 50ක් ගිය බස් රථ විනාඩි තිස්පහක් ඇතුළත ගමන් කරනවා. ඒක සුභදායක වැඩක්.”
හංවැල්ල විශේෂ – අජිත් හේවසිංහ