Home » ලියන්වල – කුරුගල පාර අබලන් පයින්වත් යන්න බැහැ ජීවිත අහිමිවීමේ අවදානමක්

ලියන්වල – කුරුගල පාර අබලන් පයින්වත් යන්න බැහැ ජීවිත අහිමිවීමේ අවදානමක්

-ප්‍රදේශවාසීහු මැසිවිලි නගති

by sachintha
October 14, 2024 2:42 am 0 comment

ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන මඟින් සිදුකරන හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ ලියන්වල – කුරුගල මාර්ගයේ ලියන්වල කන්දේවත්ත ප්‍රදේශයේ මීටර් 500ක පමණ දුරක් දැඩි ලෙස අබලන් වීම හේතුවෙන් තමන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

කිලෝමීටර් 3.34ක පමණ දුරක් රුපියල් මිලියන 106.40ක පමණ මුදලක් වැය කර වසර දෙකහමාරක් වැනි කාලයක් තුළ (2020.06.29 සිට 2022.12.27) නිම කිරීමේ අරමුණින් 2020 වර්ෂයේ මැද භාගයේ මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කළ බව ප්‍රදේශවාසීහු පවසති.

මෙම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේදී, මාර්ගයේ පහසු ප්‍රදේශයන් හී වැඩකටයුතු කොටසින් කොටස අවස්ථා කිහිපයකදී කඩිනමින් නිම කළ බවත් කන්දේවත්ත ප්‍රදේශයේ මාර්ග සංවර්ධන කටයුතු වලදී, රජයේ වගකිවයුතු අංශවල නිසි අධීක්ෂණයක් නොමැති වීම හේතුවෙන් කොන්ත්‍රාත්කරුවන් විසින් එම කොටසේ සංවර්ධන කටයුතු අතරමග නවතා දමා ගිය බවත් ඔවුන් පවසයි. එවැනි තත්ත්වයක් යටතේ මාර්ගය දිගින් දිගටම දැඩි ලෙස හානියට පත්වෙමින් පැවති අවස්ථාවක, වගකිවයුතු අංශ රැසක් දැනුම්වත් කළද ඔවුන්ගෙන් නිසි ප්‍රතිචාරයක් නොමැති අවස්ථාවක 2024 වර්ෂයේ සැප්තැම්බර් 01 දින මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන් එක්ව කන්දේවත්ත ප්‍රදේශයේදී විරෝධතාවක් පවත්වා ඇති අතර එයටද නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බව ඔවුහු පවසති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කුරුගල ප්‍රදේශයේ පදිංචි එල්. වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.

“වසර ගණනාවක් ඉතාමත් අබලන් තත්ත්වයේ පැවැති මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම මත ආරම්භ කළා. නමුත් ලියන්වල දෙස සිට ඉදිරියට ඇති කන්දේවත්ත ප්‍රදේශයේ මාර්ගයේ සංවර්ධන කටයුතු කොන්ත්‍රාත්කරුවන් අතරමඟ නවතා දැමුවා. දැන් පයින්වත් යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. හදිසියේ ප්‍රදේශයේ අයෙකුට අසනීපයක් වුවහොත් පාදුක්ක හෝ හෝමාගම රෝහලට රැගෙන යාම ඉතාමත් අපහසුයි. ඒ වගේම මාර්ගයේ කාණු පද්ධති සකස් කිරීම සඳහා දමා ඇති යකඩ කම්බි දිරාපත් වෙමින් පවතිනවා. යම් අවස්ථාවක කිසිදු ආවරණයක් කර නොමැති එවැනි යකඩ කූරු මතු වී ඇති කාණුවකට යතුරුපැදියක් වැටුණහොත් මිනිස් ජීවිත පවා අහිමි වීමට ඉඩකඩ තියෙනවා. මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා හෝ ප්‍රවාහන හා මහා මාර්ග සංවර්ධන අමාත්‍යතුමාගේ නියෝජිතයකු හෝ වගකිවයුතු නිලධාරීන් අවදානය යොමු කරලා මාර්ගයේ අබලන්ව පැවති කොටස සංවර්ධනය කර දෙන මෙන් ඉල්ලා සිටිනවා. ”

ලියන්වල ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති සුනිල් දයාවංශ මහතා මෙසේ පැවසීය.

“ 2018 වර්ෂයේ දී මෙම මාර්ගය සංවර්ධනය කිරීමට මුදල් වෙන් වුණා. දේශපාලනඥයින්ගේ කඹ ඇදීම මත කාලයක් ප්‍රමාද වෙමින් පැවැති මාර්ගය මාර්ග සංවර්ධනය පටන් ගත්තා. නමුත් මාර්ගය පහසු කොටස සංවර්ධනය කර කන්ද සහිත ප්‍රදේශයේ කානු පමණක් සකස් කර මාර්ගය සංවර්ධන කටයුතු අතරමග නවතා දමා කොන්ත්‍රාත්කරුවන් යන්න ගියා. අපි පසුගිය සැප්තැම්බර් මාසයේ උද්ඝෝෂණයක් පැවැත්වූවා. ඊට දින තුන හතරකට පසුව එවකට හිටපු ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යවරයා මෙම ප්‍රදේශයට පැමිණ ප්‍රදේශවාසීන් හමුවී පාරවල් කිහිපයක් ඉදිරියේදී සකස් කර දෙන බව ලිපි ගොනුවක් අපට පෙන්නුවා.

මෙම මාර්ගය සංවර්ධනය කිරීමට රජයේ කිසි අනුග්‍රහයක් නොදැක්වීම හේතුවෙන් ග්‍රාම සංවර්ධන සමිතියේ සහ ව්‍යාපාරික ප්‍රජාවගේත්, ප්‍රදේශයේ ජනතාවගේත්, පරිත්‍යාගශීලීන්ගේත් ශ්‍රමදායකත්වය සහ මූල්‍ය දායකත්වයෙන් පාරට ගල් පස් ගෙනැවිත් පාරේ යන්න බැරිව පැවති ස්ථාන අපි විසින්ම සකස් කර ගත්තා. මීට මාස හතරකට පමණ ඉහතදී පැවති අධික වර්ෂාවත් සමඟ මාර්ගය නැවතත් සම්පූර්ණයෙන්ම විනාශ වී ගියා.

දැනට පවතින තත්ත්වය අනුව මාර්ගයේ එක් කොටසක උස්වූ පැතිකානු සකස් කර තිබීමත්, මාර්ගය ඊට පහත්වී තිබීමත් හේතුවෙන්, වර්ෂාව දිනවලදී කානුවේ ගලා යා යුතු වතුර මාර්ගය මැදින් ගලා යෑම නිසා මෙලෙස මාර්ගය හානියට පත් වෙනවා.

මෙම මාර්ගයේ මාදුලාව ප්‍රදේශයේ සිට පාදුක්ක දෙසට පාසල් යන දරුවන් සහ රැකියාවන් සඳහා යන පිරිස් බොහෝ දෙනෙක් ගමන් කරනවා. හෝමාගම ඩිපෝව මඟින් පාදුක්ක සිට හල්බරාව දක්වා බස් රථයක් ධාවනය කෙරෙනවා. එම බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයාත් ඉතාමත් උනන්දුවෙන් එම බස් රථය ජනතාවගේ සේවය උදෙසා අනිවාර්යයෙන්ම ධාවනය කරගෙන යනවා. යම් අවස්ථාවක මෙම මාර්ගයේ පවතින දැඩි අබලන්තාවය මත බස් රථය යම් ආපදාවකට ලක්වී එම බස් රථය ඩිපෝවෙන් නවතා දැමුවහොත් ජනතාව දිනෙන් දින තවත් අපහසුතාවන්ට පත් වෙනවා.

මෙම කන්දේවත්ත ප්‍රදේශය සම්පූර්ණයෙන්ම කාපට් අතුරා සංවර්ධනය කිරීමක් සිදුකිරීම හෝ තාවකාලිකව මාර්ගයේ ජනතාවට ගමන් කිරීමට හැකිවන පරිදි මාර්ගය සකස් කිරීමක් හෝ කරදෙන මෙන් වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටිනවා.”

මේ සම්බන්ධයෙන් පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ කොළඹ විධායක ඉංජින්නේරු ඒ. එම්. කමල් නිශාන්ත මහතාගෙන් විමසීමේදී මෙම මාර්ගය සංවර්ධනය කටයුතු සිදුකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය වෙත මාර්ගය භාරදී ඇති බව පැවසීය. එසේම බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී, ආර්.එම්.එස්. බණ්ඩාරනායක මහතාගෙන් විමසීමේදී, මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය වෙත මාර්ගය පවරා තිබෙන බවත් වැඩකටයුතු අවසන් කර නොමැති වීම හේතුවෙන් මාර්ගය පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට නැවත භාරදී නොමැති බවත් ඒ මහතා පැවසීය.

පාදුක්ක සමූහ – රෙක්සි වෙත්තසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT