පසුගිය සමයේ ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු හා රාජ්‍ය ඇමැතිවරු බොහෝ පිරිසක් සිටි නමුත් ඇතැම් ක්ෂෙත්‍රයන්හි කිසිදු වැඩක් සිදු නොවුණු බව මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියෝ පවසති. තම රජයක් යටතේ පත් කරන ඇමැතිවරු ගණන සීමා කිරීමට කටයුතු කරන බව නව රජය ප්‍රකාශ කර තිබෙන බවත් එය සෑම අතින්ම හොඳ තීරණයක් බවත් උන්වහන්සේ කීහ. මහනාහිමියෝ එසේ පැවසුවේ බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා පෙරේදා (12) උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදීය.
මෙහිදී මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ මෙසේ ද පැවසූහ. නව රජය අමාත්‍යවරු විශාල වශයෙන් පත් නොකරන බව පැවසුවා. ඒක ඉතාම හොඳයි. මේ ආණ්ඩුව ඇමැතිවරු තිදෙනෙකුගෙන් වැඩ කරගෙන යනවා. පසුගිය සමයේ ඇමැතිවරු සිය ගණන් හිටියත් සමහර අංශවල කිසිම වැඩක් වුණේ නැහැ. මහජන ගැටලුවලට විසඳුම් ලැබුණේ නැහැ. විහාර දේවාලගම් ආඥා පනතේ සංශෝධනය කළ යුතු තැන් ගණනාවක් තිබෙනවා. ඒවා සංශෝධනය විය යුතු ආකාරය සම්බන්ධයෙන් අපගේ යෝජනා සහිත ලියවිල්ලක් සකස් කර තිබෙනවා. මේ අමාත්‍යාංශයෙන් කෙරෙන්න ඕන වැඩකටයුතු ගොඩක් තිබෙනවා. මේ වෙලාවේ ඇමැතිවරු තුන්දෙනෙකුගෙන් රට පවත්වාගෙන යන නිසා සියලු දේ කරන්න අමාරුයි.
මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක් වූ බුද්ධශාසන අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න මහතා මෙසේ කීවේය. ඉදිරි ව්‍යවස්ථා සංශෝධනයේ දී ව්‍යවස්ථාවේ 09 වෙනි වගන්තිය ඉවත් කිරීමක් සිදුවන බවට ඇතැමුන් ව්‍යාජ ප්‍රචාර ගෙන යනවා. ඒ සම්බන්ධව ජනාධිපතිවරයා හෝ විෂය භාර අමාත්‍යවරයා කිසිදු ප්‍රකාශයක් සිදුකර නැහැ. බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දී අනෙකුත් ආගම්වලට සමානව සැලකිය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවැනි වගන්තියේ පැහැදිලිවම සඳහන් කර තිබෙනවා. අපි දන්නා තරමින් ඒ වගන්තියේ කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. වෙයි කියලා අපි හිතන්නෙත් නැහැ. අප සමඟ කටයුතු කරන අන්‍යාගමික විද්වතුන් පවා සඳහන් කරන්නේ එම වගන්තිය වෙනස් නොවිය යුතු බවයි. බෞද්ධයකු ලෙස මමත් ඒකම තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් මම ව්‍යවස්ථා සම්පාදකයෙක් නෙවෙයි. රාජ්‍ය නිලධාරියෙක්. ඉදිරි ව්‍යවස්ථා සංශෝධනයේ දී මොනවද වෙන්නේ කියලා අපි බලාගෙන ඉමු. විහාර දේවාලගම් පනත දැන් සංශෝධනය කරලා තිබෙන්නේ. එය නීතිපතිට යවලා ඒ පිටපත අපිට ලැබිලා තිබෙනවා. ඒ පිටපත් මහනායක හිමිවරුන්ට ලබා දී තිබෙනවා. ඉන් අනතුරව උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා මත ඉදිරි සංශෝධන කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
අසේල කුරුළුවංශ