මෙවර පාර්ලමේන්තු මැතිවරණයේදී ජනතාව ජාතික ජන බලවේගය ඉහළින්ම ඔසවා තබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරා එසේ ප්‍රකාශ කළේ ‘මාලිමාවේ අපි එකට’ මැයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන ජාතික ජන බලවේගයේ අපේක්ෂක හමුවට සහභාගි වෙමිනි. තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේදී ඊයේ (13) මේ හමුව පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා:
“පසුගිය ජනාධිපතිවරණයේදී අපි විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගත්තා. එය ලංකාවේ මතවාදීමය තීව්‍ර තරගයක් තිබුණු ජනාධිපතිවරණයක්. එක කඳවුරක් නියෝජනය කළ, පැරැණි අසාර්ථක ආර්ථික, දේශපාලනික ගමන ඉදිරියට ගෙන යෑමට. ඊට එරෙහිව නව ආර්ථික හා දේශපාලන, සංස්කෘතික ගමනක් මෙන්ම පාලනය සහ ජනතාව අතර සබඳතාවක් පවතින අප නියෝජනය කළ කඳවුර පෙනී සිටියා. මෙයට පෙර පැවැතියේ, පැරැණි දේශපාලන කඳවුර ඇතුළේම වැඩි ඡන්ද ලබා ගන්නේ කවුරුන්ද කියන තරගයයි. නමුත්, මෙවර සටන තිබුණේ, පැරණි ගමන්මගේම යනවාද? නැති නම්, අලුත් දේශපාලන පරිවර්තනයකට ලක්කරන දිශාවකට යනවාද කියන තරගයයි. ජනතාව දැඩි තීරණයක් අරගෙන ජාතික ජන බලවේගයේ අපව ජයග්‍රහණය කරවූවා. ජනතාවගේ පැත්තෙන් බැලූවොත්, එය ඔවුන් තැබූ අවදානම් සහගත පියවරක්. ඒ වාගේම අධිෂ්ඨානශීලී පියවරක්. ඒ වාගේම ධෛර්ය සම්පන්න පියවරක්. ඒ තීරණය ගැනීමට අධිෂ්ඨානය සහ විශ්වාසය තිබුණු ජනතාවට අපි අපේ ස්තුතිය සහ ගෞරවය පිරිනමනවා.
“ඒ මැතිවරණයේදී අනෙක් කඳවුර සතුව මුදල්, මාධ්‍ය, රාජ්‍ය බලය කොතරම්ද කියලා පැහැදිලි වුණා. තැපැල් ඡන්දයට පෙර දිනයේ දී වැටුප් වැඩි කිරීම පිළිබඳ යෝජනා පවා ඉදිරිපත් කිරීමට ඔවුන් බලවත්ව සිටි අවස්ථාවක රටේ ජනතාව අපව විශ්වාස කර ඡන්දය දුන්නා. අපි එම මැතිවරණයේ දී ජනතාවට අලුත් මතවාදයක් සහ වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. හැබැයි මේ මතවාදයත් වැඩ පිළිවෙලත් මේ මාතෘ භූමිය තුළ යථාර්ථයක් බවට පත් කළ හැකි වන්නේ ඊට අවශ්‍ය ශක්තිමත් දේශපාලන නායකත්වයක් සැපයීමට අප සමත් වන්නේ නම් පමණයි. එය ස්වාභාවිකව ගලාගෙන යන ගමනක් නොවෙයි. පවතින තත්ත්වය වෙනස් කිරීමට නම්, ශක්තිමත් දේශපාලන නායකත්වයක් සහිත යන්ත්‍රණයක් අප සතු විය යුතුයි. දැන් අපේ දේශපාලන බලය පවතින්නේ ඉතා කුඩා තැනක. ජනාධිපතිවරයා ඇතුළු තුන්දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් තිබෙන්නේ. වර්තමාන ජනාධිපතිවරයාටත්, කැබිනට් මණ්ඩලයටත් පැවරී තිබෙන්නෙ නව ශක්තිමත් දේශපාලන බල ව්‍යූහයක් හදා ගන්නා තෙක් සංක්‍රාන්ති කාලයක ගමන් කිරීමටයි. ඒ නිසා අප මේ ගමන් කරමින් තිබෙන්නේ ශක්තිමත් දේශපාලන බලයක් අත්පත් කරගැනීම සඳහා වූ සංක්‍රාන්ති අවධියක. මේ සංක්‍රාන්ති අවධියේදී අපට කළ හැකි දේත්, අවධානය යොමු කළ යුතු දේත්, අපේ කාර්යක්‍ෂමතාවත් සහ අප ඉවසීමෙන් කටයුතු කළ යුතු අවස්ථාත් තිබෙනවා. සමහර තීන්දු තීරණ ගෙන ක්‍රියාවට නැඟීම සඳහා ප්‍රබල දේශපාලන බලයක් තිබිය යුතුයි. මේ නොවැම්බර් 14 වැනිදා ඒ දේශපාලන බලය අත්පත් කරගැනීම අප හමුවේ පවතින අභියෝගයයි. අපේ වැඩපිළිවෙළ සහ ක්‍රියාකාරීත්වය කාර්යක්ෂමවත්, වේගවත්වත් පරිවර්තනීය දිශාවකට යොමු කිරීම සඳහා නොවැම්බර් 14 වැනි දින පාර්ලිමේන්තුවේ ශක්තිමත්ම බලයක් අප අත්පත් කරගත යුතුයි.
“ශක්තිමත්ම බලය කියන්නේ කුමක්ද? 2010 මහා මැතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ පාලනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලැබුණා. ඒත්, ඉන් අවුරුදු පහකට පසුව ඔවුන් පරාජය වුණා. 2020 දී ගෝඨාභය රාජපක්‍ෂගේ පාලනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලැබුණා. හැබැයි, අවුරුදු දෙක හමාරේ දී පාර්ලිමේන්තුවේ බලය සීසීකඩ ගියා; ජනාධිපතිවරයාට ගෙදර යන්න සිද්ධ වුණා. ශක්තිමත් බලය කියන්නේ පාර්ලිමේන්තුවේ සිටින ඔළුගෙඩි ගණන පමණක් නොවෙයි. ශක්තිමත් බලය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ බහුතර නියෝජනය අවශ්‍යයි. ඒක පිළිගන්නවා. හැබැයි එහෙම නම්, කවරාකාර නියෝජනයක්ද අපට අවශ්‍ය වෙන්නේ? එය ප්‍රමාණාත්මක නියෝජනයක් වාගේම සමාජය අපේක්‍ෂා කරන ගුණාත්මක ගතිලක්‍ෂණ විශාල ප්‍රමාණයකින් ඒ ශක්තිමත් බලය නියෝජනය විය යුතුයි. එසේ නොවී පාර්ලිමේන්තුවේ හුදු මිනිසුන්ගෙන් පිරුණු බලය වැඩක් නැහැ. අපට අවශ්‍ය ප්‍රමාණාත්මක බහුතර බලය වගේම ගුණාත්මක බව කැටිව පාර්ලිමේන්තුවක්. එම ගුණාත්මක කොටස රැගෙන එන්නෙ මෙම අවස්ථාවට රැස් වී සිටින එන්නේ අපේක්‍ෂක ඔබ සැම දෙනා. ප්‍රමාණාත්මක බව ලබා දෙන්නේ ජනතාව. මෙහි රැස්ව සිටින අපේ අපේක්ෂකයින් සියලු දෙනාට විශාල වගකීමක් පැවරී තිබෙනවා මෙම පාර්ලිමේන්තුව ගුණාත්මක භාවයට පත්කරන්න.
“පසුගිය පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ජනතාව තුළ තිබුණේ, එය කැත පන්නයේ පිරිසකගෙන් පිරුණු තැනක් යන හැගීමයි. නීතියට උඩින් සිටීම, මහජනයාට වඩා උඩින් ඉන්න පිරිසක් ලෙස මහජන බලය යොදා ගැනීම පිළිබඳව දශක ගණනාවක විවේචනයක් තිබුණා. 2020 පසුගිය පාර්ලිමේන්තුවේ ආරම්භය සහ 2024 අගභාගය ගැන පමණක් සලකා බැලුවත්, 2024 අවසානය වන විට වඩාත් විනාශකාරී මට්ටමක තිබුණා. අප පාර්ලිමේන්තුව තුළ සිටිමින්, ඒ විනාශකාරීත්වයේ ගමන ඇස් දෙකෙන් දැක්ක මිනිසුන්. කථානායකවරයාගේ සිට, ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ සිට, විපක්‍ෂනායකවරයාගේ සිට විනාශකාරී පරිවර්තනයට ලක් වූ ආකාරය ඒ ගෙවී ගිය වසර හතර තුළ අප දැක්කා. එහෙම නම්, අපට අවශ්‍ය වන්නේ සියලු විනාශකාරීත්වයන් පරාජයට පත් කරන ලද මිනිසුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් පිහිටුවා ගැනීමයි. ඒ වෙනුවෙන් කැප වී සිටින්නේ ඔබ සියලු දෙනායි. පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ දී ජාතික ජන බලවේගය වෙත විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පුරවැසියන් අපේක්‍ෂාවෙන් බලාගෙන සිටිනවා. ජාතික ජන බලවේගය කෙරෙහි තබා තිබෙන අපේක්‍ෂාවන් මුදුන්පත් කරගත හැක්කේ ඔබ තනි තනිව ඒ වෙනුවෙන් කොපමණ කැප වනවාද, සාර්ථක වනවාද යන කොන්දේසිය මතයි.
“ඔබ තනි තනිව කැප වීමට, සාර්ථක වීමට සූදානම් නම්, පුරවැසියන් ජාතික ජන බලවේගය කෙරෙහි තබා තිබෙන බලාපොරොත්තුව සාර්ථක වෙනවා. අපේ රටේ මහජනතාව ගුණාත්මක පාර්ලිමේන්තුවක් කෙරෙහි තබා තිබෙන අපේක්‍ෂාව කිසිදු ආකාරයකින් බිඳවට්ටන්න ඉඩ නො දී ප්‍රමාණයෙන් බහුතරයක් වී ගුණයෙන් විශාල කාර්යභාරයක් කරට ගත් පිරිසක් වෙතින් සමන්විත පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීමේ වගකීම ඔබට පැවරී තිබෙනවා.
“අපට පැති ගණනාවකින් ජයග්‍රහණය කළ හැකියි. ජනාධිපතිවරණයේ දී අපට එරෙහි වූවන් ගෙන යන ලද ප්‍රබන්ධ, විවේචන ඔවුන්ටම පාරාවළල්ලක් වී තිබෙනවා. එහෙම නම්, අප ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන්ට ඉදිරිපත් කළ යුතු වන්නේ යථාර්ථවාදී විවේචන පමණක් බවට එයින් පාඩමක් ඉගෙනගත යුතුයි. ප්‍රබන්ධ විවේචන ඕනෑම අවස්ථාවක ජනතාව ඉදිරියේ අසාර්ථක වෙනවා. අපට එරෙහිව ඉදිරිපත් කරන ලද ප්‍රබන්ධ විවේචන සියල්ලක්ම ගෙවී ගිය දින 21කටත් අඩු කාලය තුළ ජනතාව හමුවේ බොරු බවට පත්වී තිබෙනවා. අපට එරෙහිව ප්‍රබන්ධ ඉදිරිපත් කළ අයගේ ඇස් ඉදිරිපිට ඒ ප්‍රබන්ධ සුනුවිසුනු කිරීමට හැකිවී තිබෙනවා. දේශපාලන වේදිකාවේ දී අපට එරෙහිව කිසිවක් කිව නොහැකි තරමට ප්‍රතිවිරුද්ධ දේශපාලනය අද දුබල වී සිටිනවා. අවසන් වශයෙන් ගත හොත්, ප්‍රාජතන්ත්‍රවාදය රැකීමට පාර්ලිමේන්තුවේ විපක්‍ෂයක් පිහිටුවාගැනීම පවා ඔවුන්ට අභියෝගයක් වී තිබෙනවා.
“ලංකාවේ දිගුම කාලයකට පසු ජාතික ව්‍යාපාරයක් ලෙස ජාතික ජන බලවේගයේ කඳවුර වටා නැගෙනහිර මුස්ලිම් ජනතාව සුවිශේෂ ගුණාත්මක වෙනසක් පෙන්වා තිබෙනවා. උතුරේ දෙමළ ජනතාවත් එසේමයි. කඳුකරයේ ජීවත් වන දමිළ පුරවැසියාත් අප කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. පළමුවරට එක් ජාතික ව්‍යාපාරයක් කෙරෙහි මේ රටේ සියලු කණ්ඩායම් විශ්වාසය තබා තිබෙනවා. ජනාධිපතිවරණයේ දී අප කෙරෙහි උතුරේ විශ්වාසය තිබුණාට වඩා මහා මැතිවරණයේ දී විශ්වාසය තබන බව පැහැදිලියි. නැගෙනහිරදීත්, කඳුකරයේදීත් ඒ ආකාරයෙන්මයි. ජනාධිපතිවරණය අප දිනන ඡන්දයක් බව ඒ ජනතාව තුළ තහවුරු කරන්න අප සමත් වුණේ නැහැ. ඒත්, ජනාධිපතිවරණ ජයග්‍රහණය ඔවුන් තුළ විශාල ලෙස පිබිදීමකට හේතු වී තිබෙනවා. උතුරේ ප්‍රධාන දේශපාලන නායකයෙක් පසුගිය දාක අපට මුණ ගැසුණා. ඔහු කීවා එළඹෙන මහා මැතිවරණයෙන් පසුව ඔහුගේ කණ්ඩායම අපේ ආණ්ඩුවත් සමඟ වැඩ කරන්න ලැහැස්තියි කියා. අවසානනෙදි කීවා ඔවුන් අපත් එක්ක වැඩ කරන්නෙ නැත්නම් උතුරේ ජනතාව අපත් එක්ක වැඩ කරන්න සූදානම් කියා. උතුරේ ජනතාව වෙනුවෙන් පත්වන නියෝජිතයන් අපත් සමඟ එක්වී වැඩ කරන්න සූදානම්. නැති නම්, උතුරේ ජනතාව අපත් සමඟ එක්වී වැඩ කරන්න සූදානම් බව අපට දැන් තහවුරු වී තිබෙනවා. ඒ නිසා උතුරෙන්, නැගෙනහිරෙන්, මධ්‍ය කඳුකරයෙන් විශාල ජයග්‍රහණයක් ජාතික ජන බලවේගයට ලැබෙන බව පැහැදිලියි. ‘මාලිමාවේ අපි එකට’ කියන ආදර්ශ පාඨය ශක්තිමත් ලෙස ජයග්‍රහණය කළ යුතුව තිබෙනවා.
“අපේ රටේ ඉතිහාසයේ දේශපාලනයෙන් විශ්‍රාම යනවා කියන කතාවක් තිබුණේ නෑ. එක්කෝ පරදිනවා, නැත්නම්, මැරෙනවා. ඊට වඩා දේශපාලනයක් ඉතිහාසයේ තිබුණේ නැහැ. නමුත්, ලංකාවේ පළමුවැනි වතාවට දේශපාලනයෙන් විශ්‍රාම යනවා කියන වාක්‍ය ඛණ්ඩයක් ලංකාවේ දේශපාලනයට එකතු වී තිබෙනවා. දේශපාලන පරිවර්තන කියන්නේ මෙවැනි තත්ත්වයන්ට. අප විසින් සමාජයට ඇති කරනු ලබන බලපෑමෙන් අනෙකාගේ හැසිරීම තීරණය කිරීමත් දේශපාලන පරිවර්තනයක්. අනෙකාට ඇති කරන බලපෑම හමුවේ ඇතිවන තත්ත්වයත් දේශපාලන ගුණාත්මක වෙනසක්. නාමයෝජනා අපේක්‍ෂාවෙන් සිටි අය එය නොලැබීමෙන් හඬාවැටෙද් දී, මාලිමාවේ අපි එකට එක් වෙමින් ඉදිරියට යනවා. මේ සාධක සියල්ලම තහවුරු කර තිබෙන්නේ, මේ මැතිවරණයෙන් අපට විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත හැකි බවයි.
“අපේ ව්‍යාපාරය ආණ්ඩුකරණයේ පමණක් කොටස්කරුවන් නොවෙයි. ඊට වඩා පැතිරුණු, අප හැම දෙනාගේම උරවල් මත වගකීම් පැවරුණු ව්‍යාපාරයක නියෝජිතයන් ලෙස ක්‍රියා කරනවා. උඩින් සිදු වන ඕනෑම අතපසු වීමක් පහළින් ප්‍රශ්න කිරීමට ලක් වීමේ දී එයට මුහුණ දීමට සිදු වන්නේ භූමියේ කටයුතු කරන සහෝදරයා, සහෝදරියටයි. පහළ සාමාජිකයන් ඒ සම්බන්ධයෙන් පිළිතුරු සැපයිය යුතු වෙනවා. ඒ නිසා අප කරන ඕනෑම කටයුත්තක දී ඉතා පරිස්සමෙන් ක්‍රියා කළ යුතුයි. ජනතාවට පමණක් නොවෙයි, ව්‍යාපාරයටත් වග කියන දේශපාලන ව්‍යාපාරයක් අපි. එසේ නොවේ නම්, අප කිසිවකුත් මේ තැනට එසවෙන්නේ නැහැ. අපි ජනතාවට වාගේම ව්‍යාපාරයටත් වග කියන නායකයන් බවට පත් විය යුතුයි. මේ වන විට එළියේ පවතින කැත, දේශපාලන සංස්කෘතියේ කිසිදු ලක්‍ෂණයක් නැති මිනිසුන් බවට පත් විය යුතුයි. හැම විටම සාමුහික ක්‍රියාකාරිත්වයේ කොටස්කරුවන් බවට පත් විය යුතුයි. කිසිවක් අපගේ පෞද්ගලික ජයග්‍රහණ නොවේ. සමහර විට සමහර දේකට අප සුදුස්සන් වෙන්න පුළුවන්. සමහර දේකට අප නුසුදුස්සන් වෙන්න පුළුවන්. ඒ ස්වයං මැනීම අප තුළ තබාගත යුතුයි. තමන් තුළ තමන් පිළිබඳ ස්වයං හැඟීමක් වාගේම ස්වයං මැනීමක් අප තුළ නිතැතින්ම තබාගත යුතුයි. තීරණාත්මක මැතිවරණයක් අප ජයග්‍රහණය කර තිබෙනවා. එය ශක්තිමත් කරගැනීමේ මැතිවරණයේ දී නියමු කාර්යභාරයක් ඔබට පැවරී තිබෙනවා. හැම දෙනාගේම අවධාරණය ලක් විය යුත්තේ, ‘මාලිමාවේ අපි එකට’ කියන ආදර්ශ පාඨයයි. එයින් කියැවෙන්නේ කරට අත දාගෙන ඉන්න එක විතරක් නොවෙයි. හැම දේම එක්ව දරාගන්නා දේශපාලන ව්‍යාපාරයේ ජයග්‍රහණය වෙනුවෙන් අපි හැම දෙනාම එකාවන්ව වැඩ කරමු.”
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලෙක්ම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
උපාලි කරුණාරත්න මුල්ලේරියාව – සිරිසේන ගමගේ කොළොන්නාව – ඒ.ඒ. සුමනසේන
ඡායාරූප ශාන් රූපස්සර, රංජිත් අසංක