අමද්‍යප මහා සභාවේ සභාපති ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමියන්ගේ අනූ වැනි ජන්ම දිනය අද (14) දිනට යෙදේ. මේ ලිපිය ඒ වෙනුවෙනි.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනාහිමි අග්‍රමහාපණ්ඩිත සාහිත්‍යශූරී, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, අමද්‍යප මහා සභාවේ සභාපති, ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි ශාසනික සහ ජාතික වශයෙන් ඉටු කළ සේවය නිසාම රටේ මුළු මහත් ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ නාහිමිපාණන් වහන්සේ නමක් ලෙස වෙසෙසින් අගය කළ හැකිය. උන්වහන්සේ සංඝ සභාවේ තෙළෙස් වන මහානායක ධුරයට පත්ව දැනට අනූ වැනි වියට පා තබා ඇත.
කළුතර දිස්ත්‍රික්කයේ ඉත්තෑපාන ග්‍රාමයේ 1934 ඔක්තෝම්බර් මස 14 වැනිදා ජන්මලාභය ලැබූ පින්වත් කුමරුගේ සදාදරණීය මව්පියන් වූයේ ගලතරගේ දොන් ජේමිස් අප්පුහාමි සහ මිහිගහපොළගේ දෝන ලයිසාහාමි යන දානපතීන්ය. පවුලේ බාලම දරුවා ලෙස මෙලොව එළිය දුටු ඒ කුමරුගේ ගිහි නම වූයේ ගලතරගේ දොන් ජෙරේස්ය. පස්වැනි වියට පා තබත්ම ඉත්තෑපාන විදුහලට ඇතුළත්ව අධ්‍යාපනය ලැබීය. කුඩා කල පටන්ම නායකත්ව ලක්ෂණ පෙන්නුම් කළ මේ දරුවාට තිබුණේ ඉතා ප්‍රසන්න ප්‍රභාමත් පෞරුෂයකි.
මේ පින්බර කුල කුමරු සංසාරගත පුරුද්දකට 1950 පෙබරවාරි මස 26 වැනිදා කොට්ටාව පුරාණ විහාරයේ කළල්ගොඩ ධර්මසිරි නාහිමියන්ගේ සහ පැලැන්වත්ත දිගන සිරි ධම්මකිත්ති නාහිමි, තලවතුගොඩ ධම්මාලෝක නාහිමි, කිරිගම්පමුණුවේ සරණතිස්ස නාහිමි යන සතරනමගේ ආචාර්යත්වයෙන් මොල්ලිගොඩ අරියවංශ මහනායක නාහිමිපාණන්ගේ උපාධ්‍යාත්වයෙන් හා දේවාහන්දියේ සද්ධාතිස්ස නාහිමියන්ගේ සහ මාදිවෙල චන්දවිමල නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් උතුම් උපසම්පදා භූමියට පත්වූහ.
ඉත්තෑපානේ ධම්මාලංකාර හිමිපාණන් වහන්සේ අධ්‍යාපනය ලැබුවේ විද්‍යාලංකාර මහා පිරිවෙෙනනි. ශ්‍රී ලංකා විද්‍යාල පිරිවෙන් තුළින් පාරිවේණික අධ්‍යාපනය ලබා ගත්හ.
කිරිවත්තුඩුවේ පඥාසාර නාහිමියන්ගේ පෞරුෂත්වයෙන් හා ගැඹුරු පාණ්ඩිත්‍යයෙන් අනූන, යක්කඩුවේ ප්‍රඥාසාර, විචිත්‍ර ධර්ම කථික කොටහේන ප්‍රඥාකීර්ති, මොරවක ශ්‍රී සිද්ධාර්ථ වැනි පඬිවරුන්ගේ සෙවණේ අධ්‍යාපනය ලැබීම නිසා කුඩා කල පටන්ම නායකත්වයේ ලක්ෂණ පෙන්නුම් කළ මේ නාහිමිට ඉහත නම් සඳහන් කළ පඬිවරුන්ගේ ඇසුර නිසා ප්‍රසන්න ප්‍රතාපවත් පෞරුෂත්වයක් පහසුවෙන් ගොඩනඟා ගැනීමට හැකි විය. ‘බුදු දහමේ පෙනෙන දාර්ශනික ප්‍රස්තුත’ යන උපාධි නිබන්ධනය ඉදිරිපත් කොට දර්ශනවේදී උපාධිය සහ ‘සම්භාව්‍ය සාහිත්‍යයෙන් එළිවන සාරධර්ම’ නිබන්ධනයෙන් ආචාර්ය උපාධිය ද ලබාගැනීමට උන්වහන්සේ සමත් වූහ. උන්වහන්සේ ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාවේ සභාපති බවට පත් වූ පසුව රජයට කරුණු ඉදිරිපත් කොට මාදිවල නව රෝහල පාරෙන් පර්චස් 13ක ඉඩමක් ගත් අතර, උන්වහන්සේගේ ආශීර්වාදය මැද එම භූමි භාගයේ ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට අමද්‍යප මහා සභාවට හැකිවී ඇත.
බෞද්ධ මනෝවිද්‍යාව අනුව මත්ද්‍රව්‍ය නිවාරණය සහ ප්‍රතිකාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට උන්වහන්සේ කළ ඉල්ලීම ද ක්‍රමයෙන් මල්ඵල ගැන්වෙමින් පවතියි.
මත්ද්‍රව්‍ය නිවාරණ ඩිප්ලෝමා පාඨමාලා සහතික ප්‍රදානය කිරීම මෙන්ම කොළඹ, ගම්පහ, කෝට්ටේ, ගාල්ල, තිඹිරිගස්යාය ප්‍රදේශවල දහම් පාසල් ගුරුවරුන් ද බෞද්ධ මනෝවිද්‍යාවට අනුව මත්ද්‍රව්‍ය නිවාරණයට පුහුණු කර තිබේ. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නේවාසික ප්‍රතිකාර ස්ථානවල ද බෞද්ධ මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර භාවිත කිරීම සිදු කරගෙන යමින් පවතී. පුරා වසර අනූවක ජීවිත කාලය තුළ රට, දැය, සමය වෙනුවෙන් කැපවී ක්‍රියා කළ ශ්‍රී ධම්මාලංකාර මහනාහිමියන්ට උන්වහන්සේගේ ජන්ම දිනයට සමගාමීව අද (14) සහ හෙට (15) සෙත් පිරිත් පින්කම් මාලාවක් පැවැත්වීමට රුක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක විහාර කෘත්‍යාධිකාරී ආචාර්ය පැලැන්වත්ත පුණ්‍යරතන හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ දායක සභාව ප්‍රමුඛ ප්‍රදේශවාසීන් විසින් සංවිධානය කොට ඇත. අපගේ ශ්‍රී ධම්මාලංකාර මහනාහිමියන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝ සුවය ප්‍රාර්ථනා කරමු.
රූබන් වික්‍රමආරච්චි ජාතික සංවිධායක – අමද්‍යප මහා සභාව