කඩුවෙල, වැලිහිඳ බෝධිය ආසන්නයේ ඇළ මාර්ගයේ ගිලී පසුගිය සිකුරාදා රාත්‍රී අතුරුදන් වූ තැනැත්තාගේ මළ සිරුර පෙරේදා (12) අලුයම සොයාගෙන ඇත.
මෙසේ මියගොස් ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය, බඹරවාන පදිංචිව සිටි පටබැඳි මුදියන්සේලාගේ සුගත් ජයවර්ධන (39) නමැත්තෙකි.
මොහු වැලිහිඳ ප්‍රදේශයේ පස්වලින් මැටි සකසන කර්මාන්ත ශාලාවක සේවය කරන අයෙකි. තවත් යහළුවන් දෙදෙනකු සමඟ කුලී කාමරයක නැවතී සේවයට ගොස් ඇත. එදින සවස මොවුන් අසළ ඇති ඇළ මාර්ගයෙන් එගොඩවී වෙළෙඳසලකට ගොස් ඇත්තේ කෑම පිසීමට අවශ්‍ය දෑ රැගෙන ඒමටයි. ආපසු එන විට ඇළේ ජල මට්ටම තරමක් ඉහළ ගොස් සැඩ පහර ද වේගවත්ව තිබී ඇත. මිය ගොස් ඇති තැනැත්තා අනිත් දෙදෙනා ඉවුරේ නවතා එගොඩ වීමට හැකි දැයි පරීක්ෂා කිරීමට ගොස් තිබේ. එහිදී ඔහු දියේ ගසාගෙන ගොස් ඇතැයි විමර්ශනයේදී පෙනී ගොස් ඇත.
නවගමුව හදිසි මරණ පරීක්ෂක විශ්‍රාමික අධිකරණය රෙජිස්ට්‍රාර් ඩබ්.ඒ. කේ. නිමල් මහතා විසින් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර, පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය මුල්ලේරියාව රෝහලේදී පැවැත්විණි. නවගමුව පො. සැ. (56992) රෝහිත මහතා පරීක්ෂණ මෙහෙයවීය.
නවගමුව සමූහ සුගත් ප්‍රේමතිලක