Monday, April 21, 2025
Home » පහේ ශිෂ්‍යත්වය අායෙත් පවත්වා දරුවන් මානසික රෝගීන් කරන්න එපා

පහේ ශිෂ්‍යත්වය අායෙත් පවත්වා දරුවන් මානසික රෝගීන් කරන්න එපා

-උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ (රාගම) මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී, වෛද්‍ය අනුරාධ බැමිණිවත්ත

by sachintha
October 14, 2024 3:17 am 0 comment

මේ දිනවල බොහෝ දෙනෙක් පහේ ශිෂ්‍යත්වය ගැන නොයෙක් ආකාරයේ මතවාද හා අදහස් ඉදිරිපත් කරති. ඇතමුන් පවසන්නේ යළිත් විභාගය පවත්වන ලෙසයි. විභාග ප්‍රශ්න පත්‍ර පිටකිරීමේ වරදට මේ දරුවෝ කිසිවකු සම්බන්ධ නැත. නමුත් බලපෑම ඇත්තේ දරුවන්ටය. එසේ මේ ඒ පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය අධ්‍යයන අංශයේ කථිකාචාර්ය, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ (රාගම) මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී, වෛද්‍ය අනුරාධ බැමිණිවත්ත සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකි.

සමහරුන්ට දරුවන්ගේ මානසික සුවතාව ගැන තියෙන දැනුම ඉතාම අඩුයි

විභාග මානසිකත්වය සමහර දරුවන්ට දරාගන්න අමාරුයි

ප්‍රශ්න පත්‍ර පිටකිරීමේ වරදට දරුවන් වගකිව යුතු නෑනේ

 

බොහෝ දෙනෙක් මේ දිනවල දරුවන්ගේ මානසික සෞඛ්‍යය ගැන විවිධ දේ කියනවා. කුඩා දරුවන්ට විභාග මානසිකත්වය පීඩාකාරී ද ?

ශ්‍රී ලංකාවේ කුඩා දරුවන්ගේ විභාග මානසිකත්වය ගැන කතා කරද්දී තීරණාත්මක විභාගය වන්නේ පහේ ශිෂ්‍යත්ව විභාගයයි. කාලයක් තිස්සේ පහේ ශිෂ්‍යත්වය දැඩි තරගකාරී ස්වරූපයක් ගන්නවා. මවුපියන්ගෙන් හා ගුරුවරුන්ගෙන් ලොකු පීඩනයක් මේ සම්බන්ධයෙන් දරුවන්ට එල්ලවෙන්නේ විභාගය ඉහළින්ම සමත් විය යුතුයි කියලා. ඒක හරිම පීඩාකාරියි ළමයින්ට. වයස අවුරුදු 9-10ක මේ දරුවන්ට ඒ වයසට ලොකු පීඩනයක් දරාගන්න බැරි අවස්ථා තියෙනවා. ඒ හැකියාව ගොඩක් දෙනෙකුගේ ඒ වෙද්දි දියුණු වෙලා නෑ. සමහර දරුවන්ට ඒක ඔරොත්තු දෙනවා. ඒත් සමහර දරුවන්ට ඒක දරාගන්න අමාරුයි. ඒක ඒ අයට ලොකු මානසික පීඩනයක් වගේම මනසට හානියක් වෙන්නත් පුළුවන්. ඒක පසුකාලීනව දරුවන්ගේ පෞරුෂ වර්ධනයට ලොකු බලපෑමක්, විනාශයක් වෙන්න පුළුවන්.

 

එහෙව් දරුවන් ඔබ ළඟට ප්‍රතිකාර හෝ උපදේශන සේවා ලබා ගැනීමට පැමිණෙන්නේද? ඒ අයගේ අත්දැකීම් මොන වගේද ?

අපේ රෝහලේ ළමා මනෝ වෛද්‍යවරයෙකු හා ප්‍රතිකාර ඒකකයක් තිබෙන නිසා බොහෝ දෙනා ඒ සායනයට යනවා. නමුත් මා දන්න වැඩිහිටි සිසුන්, පවා මා හමුවීමට එනවා. මා සුදුසු පරිදි ඒ අයව උපදේශන හෝ ප්‍රතිකාර සඳහා යොමු කරනවා. ඒ කැටුව එන දරුවන් ගැන සමස්තයක් ලෙස සලකා බැලුවම 1-3 ශ්‍රේණිවල අය එහෙම එන්නෙ නෑ. එන්නෙම නැති තරම්. නමුත් 4-5 ශ්‍රේණිවල අය තමා වැඩි වශයෙන්ම එන්නෙ. බෙහෝ වෙලාවට මවුපියන් පවා එතෙනදි අසරණයි.

 

පහේ ශිෂ්‍යත්වය වගේ තරගකාරී විභාගයක් සෘජුවම ඒ වයසේ දරුවන්ට අයහපත් ලෙස බලපාන්නෙ කොහොමද ?

විභාග ආතතිය කියන එක (exam stress) රෝග තත්ත්වයක් නෙවෙයි. නමුත් ඒක කාලයක් තිස්සේ අඛණ්ඩව තියෙද්දී සමහර ළමුන් අතර එය විෂාදය (Depression) තත්ත්වය දක්වා වර්ධනය විය හැකිය. අනෙක් අතට කාංසාව (anxiety disorder) සහ ආතතිය (stress) වැනි මානසික රෝගී තත්ත්වයන් දරුවන් තුළ ඇති විය හැකියි. ඒ තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් ඉතා දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්නට සිදුවිය හැකියි. ඒ නිසාම මේ වයසේ ළමුන් සමඟ ගනුදෙනු කරන එක, ඒ අය විභාගවලට මුහුණදීම සඳහා සූදානම් කරන එක ඉතා පරිස්සමින් කළ යුතු දෙයක් හැටියටයි මා දකින්නේ.

 

මේ තත්ත්වය පිළිබඳ දරුවන්ගේ මවුපියන්, ගුරුවරුන් දැනුම හා අවබෝධය ගැන ඔබට ඇති අත්දැකීම් මොන වගේද ?

දැන් දැන් දරුවන්ගේ මානසික සෞඛ්‍ය ගැන උනන්දු, ඒ සම්බන්ධයෙන් පුහුණුව ලැබූ ගුරුවරුන් ඉන්නවා. ඒත්, ඒ ඉතාම සීමිත පිරිසක් පමණයි. බහුතර ගුරුවරුන්ට මේ දැනුම හා ආකල්පමය වෙනස අඩුයි. අනෙක් අතට මවුපියන් ගැන හිතුවොත් ඉතාම කනගාටුයි. දරුවන්ගේ මානසික සුවතාව ගැන තියෙන දැනුම හෝ අත්දැකීම් මවුපියන්ට ඉතාම අඩුයි. මේ අය විසින් අධ්‍යාපන මට්ටමින් ඉහළට යන්න කියලා, දරුවන් පීඩනයට පත් කරන්නේ ඒ ඒ දරුවන්ගේ හැකියාව හෝ බුද්ධි මට්ටම ගැන කිසිදු අවබෝධයක් නැතිවයි. ඒ පිළිබඳ කිසිදු තැකීමකින් තොරවයි. දරුවන් සියලුදෙනා එකිනෙකාට වෙනස්. ඒ අයගේ බුද්ධි මට්ටම් හා හැකියාවන් වෙනස්. ඒ වෙනස්කම් හා හැකියාවන් පිළිබඳ යම් තරමක හෝ අවබෝධයකින් තොරව සියලු දෙනාගෙන් එකම විදිහේ ඉහළ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන එක සම්පූර්ණයෙන්ම වැරදියි. මේ තත්ත්වය තේරුම් අරන් දරුවන් කෙරෙහි නිසි අවධානය යොමු කොට ඔවුන් හඳුනා ගැනීමට උත්සාහ දැරීම අනිවාර්යයෙන් කළ යුතුයි.

මේ වන විට පැවති පහේ ශිෂ්‍යත්වයට අදාළව ප්‍රශ්න කිහිපයක් පිටවීමේ හේතුව නිසා යම් ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. පිට වූ ප්‍රශ්න අවලංගු කොට ඒ සඳහා සියලුම ළමුන්ට සමාන ලෙස ලකුණු ලබා දීමට යෝජනා වුවත් ඇතැම් මවුපියන් විභාගය සම්පූර්ණයෙන්ම නැවත පවත්වන ලෙස බල කරමින් සිටිනවා. පහේ ශිෂ්‍යත්වය නැවත පැවැත්වීම ගැන ඔබේ අදහස කුමක්ද ?

එකම විභාගය නැවත නැවතත් පැවැත්වීම ශිෂ්‍යත්ව දරුවන්ට විතරක් නෙවෙයි, උපාධි මට්ටමේ දරුවන්ට පවා මානසික පීඩාවක් තමයි. එහෙම අවස්ථාවක විශේෂයෙන් මනස පීඩාකාරී දේ දරාගන්නා මට්ටමට බොහෝ දියුණුවී නැති පහේ ශිෂ්‍යත්ව දරුවන් යළිත් පීඩාකාරී අත්දැකීමකට ලක් කිරීම සාධාරණ නෑ. අනික විභාග ප්‍රශ්න පත්‍ර පිටකිරීමේ වරදට මේ දරුවන් වගකිව යුතු නෑනෙ. මේක ඒ ළමයි නොකළ වරදකට ඒ ළමයින්ට දඬුවම් කරනවා වගේම අසාධාරණ වැඩක්. පහේ ශිෂ්‍යත්වය කියන්නේ දරුවන් බොහෝ පිරිසකට අතිශය පීඩාකාරී අත්දැකීමක්. ඒ නිසාම නැවත වතාවක් ඒ විභාගයට මුහුණදෙන්නට කියන්නේ නම් ඒක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. මෙයින් ලොකු මානසික පීඩාවක් හෝ බලපෑමක් දරුවන්ට ඇති වෙන්න පුළුවන්. එයින් දරුවන්ට මානසිකව ලොකු හානියක් වෙන්න පුළුවන්. පහේ ශිෂ්‍යත්ව විභාගය නැවත වරක් පැවැත්වීම කිසිසේත්ම සාධාරණීකරණය කරන්න බෑ.

 

මෙය මේ වසරේ ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාරණයක් වුවත්, විභාගය අඛණ්ඩව පැවැත්වෙනවා. සිදුවිය හැකි ගැටලු අවම කර ගැනීමට කළ යුත්තේ කුමක්ද ?

පහේ ශිෂ්‍යත්ව විභාගයේ තරගකාරී බව අඩු කරන්න කුමක් නමුත් නිසි ක්‍රමවේදයක් ගේන්න වෙනවා. ළමා විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛ ළමා වෛද්‍යවරුන්ගේ අදහස වන්නේත්, විභාගය මුළුමනින්ම අහෝසි කරන තැනකට යනවට වඩා තරගකාරී බව අවම කිරීම වඩා සුදුසු බවයි. එනම් සාධනීය වෙනස්කම් එක්ක පවත්වාගෙන යාමයි. ශිෂ්‍යත්ව විභාගයේ ශ්‍රේණි ලබා දීම වෙනුවට වෙනත් ඇගයීම් ක්‍රමවේදයක් එනවා නම් හොඳයි. උදාහරණයක් විදිහට ලකුණු 70ක් ගත්තම දරුවෙක් විභාගයක් සමත් ලෙස සැලකුවත්, ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් ප්‍රශ්න පත්‍රයකට ලකුණු 70 බැගින් ගත්තත් අසමත් කියන සංකල්පයක් තමා තියෙන්නෙ. මොකද ඉහළම ලකුණු ගන්න ප්‍රතිශතය අනුව තමා සමත් කඩඉම, පාසල්වල කඩඉම් ලකුණු ආදිය තීරණය වෙන්නෙ. එහෙම නැතිව ලකුණු 70ක් ගන්නා හැමෝම සමත් බවට සහතිකයක් දෙන්න හැකිනම්, ඒ හැමෝම ඇගයීමට ක්‍රමවේදයක් සකසන්න හැකිනම් වටිනවා. විභාගය මුළුමනින්ම අහෝසි කරනු ලැබුවහොත්, අඩු පහසුකම් තියෙන, දුෂ්කර පාසල්වල, දුප්පත් ළමුන්ට වැඩි පහසුකම් තියෙන තැනකට එන්න තියෙන ඉඩ ප්‍රස්ථාව අහිමිවන බවට කෙනෙකුට චෝදනා කරන්න පුළුවන්. ඒ ගැටලුව නැති කරන්න නම් සියලු පාසල්වලට සියලු පහසුකම් ලැබෙන්න ඕන. ඒක ඒ විදිහටම ඉටු කරන්න හැකිද කියන ගැටලුව යළි මතුවෙනවා. අනිත් අතට ඒ හැම පහසුකමක්ම තියෙන පාසල්වල ළමුන් සහ කිසිදු පහසුකමක් නැති පාසල්වල ළමුන් ලියන්නෙ එකම විභාගයක්. එකම ප්‍රශ්න පත්‍ර වලටයි මුහුණ දෙන්නේ. එහෙම බැලුවම එතනත්, සාධාරණත්වයක් තියෙනවද කියන ගැටලුව එනවා. ඒ අනුව අඩු පහසුකම් සහිත දුෂ්කර පාසල්වල දක්ෂ දරුවන්ට ඉහළ පාසල්වලට යන්නට හැකි, යම් ඇගයීම් ක්‍රමයක් තිබිය යුතු අතරම එය මේ සා තරගකාරී පීඩාකාරී දෙයක් නොවන තැනට වග බලාගත යුතු වෙනවා. අනික් අතට ශිෂ්‍යත්වය සමත් වන සියලුම දෙනා යම් අගය කිරීමකට ලක් කරන ක්‍රමවේදයක් සෑදිය යුතුයි. විභාගය අසමත් වුණු දරුවෙකුට පවා තමන්ගෙ ආත්ම විශ්වාසය පලුදු නොවන තැනට, තමන්ට ජය ගත යුතු වැදගත් කඩඉම් තවත් ඕන තරම්, ඉඩ ප්‍රස්ථා ඕන තරම් තියෙන බවත් ඒත්තු ගැන්වෙන විදිහේ වැඩපිළිවෙළක් තිබිය යුතුයි. මේක මතම ජීවිතය රඳා පවතින්නේ නෑ කියන එක ඒ දරුවන්ට ඒත්තු ගැන්වීම වැදගත්. දියුණු පාසල්වල අය මේ තරගයෙන් ඉවත් කරන්නත් පුළුවන්. එතකොට අඩු පහසුකම් අයට තියෙන ඉඩ ප්‍රස්ථා තවත් පුළුල් වෙනවා. සැමට එක විදිහේ අවස්ථා නොලැබීමත් ගැටලු ඇති වෙන්න තියෙනවා.

මේ වගේ කරුණු කාරණා සම්බන්ධයෙන් කුඩා දරුවන්ගේ මවුපියන්ට පවත්නා වගකීම මොන වගේද ?

මවුපියන් දරුවන්ගේ මානසික තත්ත්වය ගැන අවදියෙන් හා අවබෝධයෙන් සිටිය යුතුයි. විභාගය සමත් වීමට දිරිමත් කරන අතරේම අසමත් වුවද, තමන්ගේ ආදරය, පිළිගැනීමේ ගැටලුවක් නොවන බව තහවුරු කළ යුතුයි. ඒ දැනුම ලබාගත යුතුයි. ගුරුවරුන් වේවා අවට ගෙවල්වල පිරිස් වේවා, හිත මිතුරන් වේවා ඒ කවුරුන් හමුවේ වුවද, තමන්ගේ දරුවන්ගේ හැකියාවන්වල විවිධත්වය, අගය කළ යුතු දේ අගය කළ යුතු වෙනවා. යම් විභාගයක් අසමත් වූ පමණින් ජීවිතය අසමත් නොවන බව තමන් වගේම අන් අයටත් ඒත්තු ගැන්විය යුතු වෙනවා. දරුවෙකුට යම් මානසික පීඩනයක් ඇති වුණොත් මොන වගේ උදව්වක්, කොයි වගේ තැනකින්ද ගත යුත්තේ කියන පූර්ව දැනුම හා අවබෝධය මවුපියන්ට තිබිය යුතුයි. ඒ කියන්නේ පළමුව කතා කළ යුත්තේ මනෝ වෛද්‍යවරයෙකුටද? උපදේශන සේවා පවත්වාගෙන යන කෙනෙකුටද? මනෝ චිකිත්සකයින්ටද? පවුලේ වෛද්‍යවරයාටද යන්න තෝරා බේරා ගැනීමට හැකියාවක් ඔවුන්ට තිබිය යුතුයි. ඒ ඒ වගකිව යුතු අයගේ දුරකතන අංක, ලිපින සහිත ඒ අයව සම්බන්ධ කර ගැනීමේ ක්‍රමවේදයක් ගැන අවබෝධයක් තිබිය යුතුයි. විභාගයේ ප්‍රතිඵලය මොක වුණත්, තමන්ගෙ දරුවා අගය කළ යුතුයි. තෑග්ගක් දුන්නත් කමක් නෑ. විභාගය සමත් වුවත්, අසමත් වුවත්, දරුවා අගය කළ යුතු තැන අගය කළ යුතුයි. විභාගයක් අසමත්වීම යන කාරණා සම්බන්ධයෙන් දරුවන් සමච්චලයට ලක් කරන්නට හෝ දරුවන්ට ගරහන්නට අසල්වැසියන්ට, ඥාතීන්ට ඉඩ ලබා නොදිය යුතුයි. එවන් අවස්ථාවල තමන් දරුවන්ගේ පාර්ශ්වයේ සිට ඔවුන්ගේ ආත්ම විශ්වාසය පලුදු නොවන්නට වග බලා ගත යුතුයි.

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT