නාමයෝජනා භාරදීම අවසන් හෙයින් අද හෙටම අපේක්ෂකයන්ගේ මනාප අංක නිකුත් කරනු ඇත්තේය. ඒ කියන්නේ අපගේ ඇසට සහ කනට විසුමක් නැතිවෙන කාලයක් උදාවෙන බවය. මනාප අංකය අපගේ මතකයේ කෙටීම සඳහා අපේක්ෂකයන් උදක් වෙහෙස වන්නාහ. එය අවසානයේ එකිනෙකා අතර තරගයක් බවට පත්ව, ඡන්ද දායක වන අපට වදයක් බවට පත්වන්නේය.
දැනටමත් සමහරෙක් පූර්ව ප්‍රචාර දියත් කර තාප්ප මත්තේ පාප්ප කාගෙන ඇලවී ඇත්තාහ. අංකය ලැබීමට පෙර ද තත්ත්වය එසේ නම් ලැබුණු පසු කොයි තාලය අල්ලාවීදැයි සිතා ගත හැක්කේය.
මේ ආකාරයේ දස්සන සඳහා නූතන දේශපාලන සමාජය කැමැත්තක් දක්වන්නේ නැත. මේ වනාහි දේශපාලන සංස්කෘතිය වෙනස් වූ කාලයකි. පෝස්ටර් ආදිය සඳහා වියදම් වැඩියෙන් සිදු කරන විට ජනතාව සිතන්නේ ඒ චරිතය දූෂිත බවය. කැම්පේන් එකේ සාර්ථකත්වය සඳහා සල්ලි විසි කරන ලද කාලය දැන් නිමාවට පත්ව තිබේ. එය වනාහි මොළයෙන් ගැසිය යුතු ගේමකි.
ගුරුවරයකු වූ විජයානන්ද දහනායක කලක් දේශපාලනයේ යෙදුණේ වුවද එහෙමට සල්ලිය භාගය තිබූ චරිතයක් නොවේය. බිබිල ආසනයෙන් ඡන්දය ඉල්ලා තිබූ හෙතෙම 1947 මහමැතිවරණය සඳහා ඉදිරිපත් වූයේ සිය ගම වූ ගාල්ලෙනි. එය සෝල්බරි ක්‍රමය යටතේ පවත්වන ලද පළමු මැතිවරණය විය. දහනායක ඉදිරිපත් වූයේ සමසමාජ පක්ෂයෙනි. ඔහුට එදිරිව එජාපයෙන් ඉදිරිපත් වූයේ එච්.ඩබ්ලිව්. අමරසූරියය. ඒ කාලයේ රටේ ද සිටි ප්‍රබල ව්‍යවසායකයෙක් වූ අමරසූරිය සමඟ සටන් කිරීම වියදම් පාර්ශ්වය අතින් බැලූ කල දහනායකට පහසු දෙයක් නොවීය. එදා අමරසූරියගේ ආධාරකරුවන්ට තුන් වේල සහ රත් වෙන්න යමක් ලබාදී අතට ද ගාණක් ලැබුණේය. රැස්වීමක් සංවිධානය කළහොත් ඒ සඳහා ද ගතමනාවක් ද හිමිය. මේ වාසි සලකා බලන ලද සමහරක් දෙනා කුලී මලී වැඩ අත්හැර එම කාලයේ අමරසූරියගේ මැතිවරණ ව්‍යාපාරයේ නිරත වූහ. සමහරු මාසයක් රැකියාවෙන් නිවාඩු දමා අමරසූරියගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වූයේ මාසයේ පඩියට වඩා ආදායමක් ඉන් ලැබෙන්නේ බැවිනි. දහනායක සමඟ සිටි සමසමාජ පාක්ෂිකයෝ එහෙම සල්ලිකාරයෝ නොවූහ. ඔවුහු ප්ලේන්ටියෙන් මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන අතරේ, ජනතාව අමතමින් දහනායක කියා සිටියේ අමරසූරිය වැනි ධනවතෙක් ගාල්ලට ඉදිරිපත් කරන ලද්දේ තමන් සමඟ තරග වැදීම පහසු නොවන බව එජාපය දන්නා හෙයින් බවය. අමරසූරියගේ දේශපාලන ආගමනය දහනායක විසින් හඳුන්වා දෙන ලද්දේ “මම සල්ලි ගහ හොලවනවා… උඹලා වැටෙන සල්ලි අහුලාගෙන මට ඡන්දය දීපල්ලා” කියාය.
මැතිවරණය දිනයේ අමරසූරියගේ බස් සමාගමේ සියලු බස් රථ යොදවන ලද්දේ ඔහුගේ ඡන්ද දායකයන් නොමිලේ ප්‍රවාහනය සඳහාය. ඒ බව කල් තියා දැනගත් දහනායක ජනතාව වෙත කියා සිටියේ, අමරසූරියගෙන් කා බී, ඔහුගේ බස් රථවල නොමිලේ ඡන්ද පොළට ද ගොස් තමන්ට කතිරය ගසන ලෙසය. ඡන්ද ප්‍රතිඵල නිකුත් විය. විජයානන්ද දහනායක ඡන්ද 16588ක් ලබාගෙන තිබුණි. එච්.ඩබ්ලිව්. අමරසූරිය, වැඩි ඡන්ද 2469 කින් පරාජය කරමින් ගාල්ල මහජන මන්ත්‍රී බවට දහනායක පත්විය.
මේ රටේ ජනප්‍රිය උදාහරණයක් අද මේ තීරුව ගෙන හැර දක්වන ලද්දේ මනාප සෙල්ලම නිසා ඔළුව කොලොප්පන් වී සිටින අපේක්ෂක පිරිස වෙත යහ මඟ කියාදීමේ අරමුණෙනි. තාප්ප ගානේ විවිධ ඉරියව් නිරූපණය කර ගෙන සිටියා කියා ජනතා කැමැත්ත ලැබෙන්නේ නැත. සමහරු රුවන් වැකි ආදිය ද ලියා පෝස්ටර් ගසන්නේය. මනාප අංකය පාරවල් දිගේ අඳින්නේය. ඡන්දය දිනට කලින් දා, මනාප අංකය මුද්‍රණය කරන ලද සිහින් කඩදාසි කැබලි පාර පුරා තොගයට දමා යන්නේය. ඔය ආකාරයේ හිඟමනක් බවට මනාප හුටපටය පත් කර ගත්විට, මිනිසුන් වෙත එපා වෙන්නේ, එක් එක් අපේක්ෂකයා පමණක් නොවේ. සමස්ත නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයමය.
දැන් තියා ඒ සඳහා වෙනම වැඩපිළිවෙළක් අනුගමනය කරන ලෙස මේ තීරුව ඉල්ලා සිටින්නේ එබැවිනි. පෝස්ටර් යුද්ධයට මැදිවී දිනා ගත හැකි මනාපයක් නැත. එය මුදල් සහ පරිසරය කාබාසිනියා කරන්නකි. එදා මෙන් ගහක්, ගලක් ගානේ පෝස්ටර් ඇලවීමට ගිය විට නගරයේ තාප්පය අපිරිසිදු කරන්නේය යන ජනතා කෝපයට ද, අදාළ පුද්ගල තෙමේ පත් වන්නේය. ඒවා ජනිත කරන්නේ අමනාපයන්ය.
මේ නිසා එක්කෝ ගෙයින් ගෙට යා හැක්කේය. දිස්ත්‍රික්කය පුරා එසේ යෑම අපහසු නම්, සමාජ මාධ්‍ය ආදිය, එස්.එම්.එස්. ආදිය උපයෝගී කර ගත හැක්කේය. ඒවා සමස්තයක් ලෙස පෝස්ටර් යුද්ධයට වඩා වියදම අඩුය. තමන්ට අවශ්‍ය පුද්ගල කාණ්ඩය සඳහා කේත කළ හැක්කේ බැවින් ඵලදායීභාවය වැඩිය. අනික කුඩා කුඩා ආමන්ත්‍රණයන්ය. මෙය පළාතේ මහජන නියෝජිතයා පත් කරන අවස්ථාව බැවින් ජනතාව වෙත අපේක්ෂකයා කන් දිය යුත්තේය. අපේක්ෂක බණ ඇසීම දැන් එපා වී ඇත්තේ හෙයින් ජනතාවගේ අවශ්‍යතාව අපේක්ෂකයා හඳුනා ගත යුත්තේය. ඒ සඳහා විශ්‍රාමික, ගුරු, තරුණ ආදී ප්‍රජාවන් සමඟ යම් අපේක්ෂකයෙක් සංවාදයේ යෙදෙන්නේ නම් ඔහු සමඟ ඇති බැඳියාව තර වන්නේය. එහෙම සිදු කරන සාකච්ඡාවක් යූටියුබ් ආදියට යොමු කර ජනතා ප්‍රතිචාර ලබා ගත හැකිය. එවිට තවත් පිරිසක් වෙත එම පණිවිඩය ග්‍රහණය වන්නේය.
මේ ආදී ක්‍රම තබාගෙන, තාප්ප ගානේ වාත නොවන ලෙස මේ තීරුව ඉල්ලා සිටින්නේ අංකය ලැබීමට ද පෙර සමහරක් මුහුණත් තහඩු අපගේ අමනාපයට හේතු වෙන පරිදි අගු පිල් ගානේ ලැගුම් ගෙන සිටින බැවිනි.