මධ්‍යම ආසියානු අවුරුදු 20න් පහළ වොලිබෝල් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකාව උස්බෙකිස්තානය හමුවේ වට 3-1කින් පරාජය විය. මේ පරාජය සමඟ තරග 5කින් එක් ජයක් පමණක් හිමි වූ ශ්‍රී ලංකා පිල කණ්ඩායම් 6ක් එක් වූ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයෙන් නතර විය.
මාලදිවයින ක්‍රීඩා කළ සියලු තරග පරාජය වූ අතර, මේ දෙපිල අද තරගාවලියේ 5 වැනි ස්ථාන වෙනුවෙන් යළි තරග වැදීමට නියමිතය.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගාවලියේ ඊයේ පැවති දෙවැනි තරගය වූ ශ්‍රී ලංකා – උස්බෙකිස්තාන තරගයේ මුල් වට දෙක පහසුවෙන් ජය ගැනීමට ප්‍රබල උස්බෙකිස්තාන කණ්ඩායම සමත් වූයේ ලකුණු 25-17ක් සහ 25-18ක් ලෙසිනි. කෙසේ වෙතත් තෙවැනි වටයේදී සටනක නිරත වූ ශ්‍රී ලංකා පිල 25-21ක් ලෙස ජය ගැනීමට සමත් විය. කෙසේ වෙතත් තියුණු මුහුණුවරක් ගත් සිව්වැනි වටයේදී ලකුණු 25-23ක් ලෙස ජය ගනිමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට උස්බෙකිස්තාන ක්‍රීඩකයෝ සමත් වූහ. උස්බෙකිස්තානය මේ තරගාවලියේ මූලික වටයේ අපරාජිතයන් ලෙස අවසන් තරගයට පිවිසීමට සමත් විය.
ඊයේ පැවති පළමු තරගයෙන් නේපාලය වට 3-0ක් ලෙස පරාජය කිරීමට ටර්කිමේනිස්තානය සමත් වූ අතර, ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයෙන් අවසන් තරගයට පිවිසියේය. එම තරගය අද (12) පස්වරු 3.00ට පැවැත්වේ. නේපාලය සහ කිරිගිස්තානය අතර තෙවැනි ස්ථානය සඳහා තරගය පස්වරු 1.00ට පැවැත්වේ.
මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මේ තරගාවලිය සංවිධාන කරයි.